සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රාජගියේ ගුවන් පාලම අසළින් ගමන් ගනිද්දී ඔහුගේ රථ පෙළ ඉලක්ක කර ආසන්නයේ තෙල් පෝලිමේ සිටි ජනතාව කුපිතවී 'ගල් වරුසාවක්' එල්ල කළ බවට ව්‍යාජ ප්‍රවෘත්තියක් ඊයේ (18) රාත්‍රී කාලයේ ඇතැම් දේශපාලනික සමාජ මාධ්‍ය ෆේස් බුක් පිටු ඔස්සේ හුවමාරුවී තිබේ. මෙම පුවත සත්‍යයෙන් තොර බව පොලිසිය තහවුරු කර තිබෙන අතර නලින්ද ජයතිස්ස ඇමතිවරයා රථ පෙළකින් ගමන් ගන්නා පුද්ගලයෙකු නොවන බවද පැහැදිලි කර තිබේ.
මෙම ව්‍යාජ පුවත ප්‍රචාරය කළ කිහිප දෙනෙකුම මේවනවිටත් සිය පෝස්ටු පළවූ තැනින් මකාදමා ඇති බව උදෑසන නිරීක්ෂණය කිරීමේදී හදුනාගන්නට ලැබේ.මෙම පුවත පළවන්නේ සමාජ මාධ්‍ය තුළ වැරදි තොරතුරු පැතිරීම වැළැක්වීම සඳහා ගතයුතු ප්‍රායෝගික පියවර පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් Facebook හිමිකාර ඇමරිකානු මෙටා (Meta) සමාගමෙහි නියෝජිතයින් සමග ඊයේ (18) පස්වරුවේ පැවැත්වීමෙන් පසුව වීමද විශේෂිතය.
මෙම සාකච්ඡාවේ දී ව්‍යාජ තොරතුරුවලට එරෙහිව, නිවැරදි තොරතුරු ජනගත කිරීම පුළුල් කිරිම කෙරෙහි මෙන්ම තොරතුරු පිළිබඳව ඩිජිටල් අන්තර්ගතයේ නිරවද්‍යතාවය වැඩි දියුණු කිරීම කෙරෙහි ද අවධානයක් යොමු විය.
මෙම විශේෂ වූ සාකච්ඡාව සඳහා මෙටා සමාගම නියෝජනය කරමින් මධ්‍යම ආසියාව, මොන්ගෝලියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන අංශවල රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රධානී, සෙනුර අබේවර්ධන, දකුණු ආසියාව සඳහා මහජන ප්‍රතිපත්ති සහකාර කළමනාකරු ටෙහාරා පුංචිහේවා, ආසියා පැසිෆික් ආරක්ෂක ප්‍රතිපත්ති ප්‍රධානී ප්‍රියංකා භල්ලා, “රටම එකට” ජාතික මෙහෙයුම් කමිටුවේ සහ Rebuilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකා මන්දනා ඉස්මයිල් අබේවික්‍රම, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
මින් ඉහත පසුගිය 3 වනදා තමන් වෙත එල්ල කරනු ලැබූ පදනම් විරහිත අසත්‍ය චෝදනාවලට එරෙහිව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංසගෙන් සහ පෞද්ගලික නාලිකාවකින් රුපියල් බිලියනයක් වන්දි ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පියවර ගෙන තිබුනේ විමල් වීරවංස විසින් පවත්වන ලද ප්‍රසිද්ධ රැස්වීමක දී, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙරට තුළ අසාදු ලේඛනගත ඖෂධ සමාගමක ක්‍රෙඩිට් කාඩ්පතක් (Credit Card) භාවිතකර භාණ්ඩ මිලදී ගත් බවට ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.
2022 වසරේදී රට ආර්ථික වශයෙන් ඇදදමන ලද එවක ආණ්ඩුවට මුදල් නැතිවීම නිසා ජනතාව පීඩාවට පත්කර ඉන්ධන, ගෑස් හා විදුලි අර්බුදයක් ඇති කළ අතර එම අවස්ථාවේදී මේ ආකාර හූ තබන ප්‍රතිචාර එවක රජයේ නියෝජිතයින්ට අත්විඳින්නට සිදුවිය. දේශපාලනික වශයෙන් ක්‍රියාත්මක සමාජ මාධ්‍ය පිටු හා ඇතැම් මාධ්‍ය එවක අත්දැකීම් නැවත ඇතිවූ ආකාරයක් මවාපාන්නට දරන තවත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මේ ආකාර ව්‍යාජ පුවත් නිර්මාණය වී ඇති බව හඳුනාගන්නට ලැබේ.

