10000-bribed-ragama-traffic-oic-arrested

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් රථවාහන අංශයක ස්ථානාධිපතිවරයෙකු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඉකුත් අඟහරුවාදා (17) පස්වරු 6:30 ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ. රාගම ප්‍රදේශයේ පදිංචි වෙළෙඳ ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.




මෙම පැමිණිලිකරු රාගම වෙළඳපොළේ ව්‍යාපාරිකයෙකු වන අතර, ජා-ඇල ප්‍රාදේශීය සභාවේ බලපත්‍රයකට යටත්ව ඔහු බදාදා සහ සෙනසුරාදා යන දිනවල වෙළඳපොළ භූමියට අයත් මාර්ගවල සිය වෙළඳාම් කටයුතු සිදු කරනු ලබයි. වෙළෙඳුන්ට මෙන්ම පදිකයින්ටද කිසිදු අවහිරයකින් තොරව ගමන් කිරීමට හැකි වන පරිදි එම මාර්ගවල වෙනත් වාහන නවතා තැබීම වැළැක්වීම වෙනුවෙන් අදාළ පොලිස් නිලධාරියා මෙලෙස අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව වාර්තා වේ. ඔහු එක් පොළ දිනයක් සඳහා රුපියල් 5,000 බැගින් සතියේ පොළ දින දෙක සඳහා රුපියල් 10,000 ක මුදලක් ඉල්ලා තිබේ.

එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් යොදන ලද උපාය මාර්ගයකට අනුව සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අදාළ අල්ලස් මුදල භාර ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට පත්ව ඇත. එලෙස අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.