signs-that-chaminda-will-be-reinstated-and-the-parliamentary-deputy-secretary-general-will-be-settled

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් මෙන්ම කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කරන චමින්ද කුමාර කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීමට අදාළව පවතින නෛතික ගැටලුව සමථයකට පත් කර ගැනීමේ හැකියාවක් පවතින බව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ. පෙත්සම්කාර පාර්ශ්වය සහ වගඋත්තරකරුවන් අතර මෙම එකඟතාව සඳහා ඉඩකඩ පවතින බව වගඋත්තරකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් චායා ශ්‍රී නම්මුණි මහත්මිය විසින් ඊයේ (19) ප්‍රකාශ කරන ලදී.




මෙම නඩුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පාර්ලිමේන්තු උපදේශක කමිටුව විසින් නීති විරෝධී ලෙස තමන්ට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කර වැඩ තහනම් කර ඇති බව පවසමින් නීතිඥ චමින්ද කුමාර කුලරත්න මහතා විසින් ගොනු කළ රිට් පෙත්සම සලකා බැලීම සිදුවිය. මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස කථානායක ජගත් වික්‍රමරත්න මහතා සහ පාර්ලිමේන්තු උපදේශක කමිටුවේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

තිදරු පියෙකු මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු ද වන පෙත්සම්කරු, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ ලේකම්වරයා ලෙස කටයුතු කළ කාලසීමාව සිය විශ්‍රාම වැටුප ගණනය කිරීම සඳහා නීත්‍යානුකූලව ඇතුළත් කළ බව සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත. එහෙත්, විශ්‍රාම වැටුප් හිමි ධුරයක් වන නියෝජ්‍ය මහලේකම් තනතුරේ විශ්‍රාම වැටුප් ගණනයට අදාළ එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු උපදේශක කමිටුව මැදිහත් වී විශ්‍රාමික අතිරේක ලේකම්වරයෙකු ලවා පසුගිය වසරේ පෙබරවාරි 02 වැනි දින මූලික විමර්ශනයක් සිදු කර තිබේ. එම විමර්ශනයෙන් පසුව ඉදිරිපත් කළ වාර්තාව පදනම් කරගනිමින් 2026 ජනවාරි 22 වන දින සිය සේවය අත්හිටුවීමට පියවර ගත් බව ඔහු සිය පෙත්සමෙන් වැඩිදුරටත් සඳහන් කරයි.




තම සේවය අත්හිටුවීමට පාර්ලිමේන්තු උපදේශක කමිටුවට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බව පවසන චමින්ද කුමාර කුලරත්න මහතා, පාර්ලිමේන්තු නිලධාරීන්ගේ විනය කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ බලධාරියා වන්නේ පාර්ලිමේන්තු මහලේකම්වරයා පමණක් බව අවධාරණය කර තිබේ. ඒ අනුව, තමාගේ සේවය අත්හිටුවමින් නිකුත් කර ඇති ලිපිය නීතියට පටහැනි බැවින් එය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්, පෙත්සම විභාගයට ගන්නා ලෙසත්, වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කර නඩුව අවසන් වන තෙක් එම වැඩ තහනම් කිරීමේ ලිපිය ක්‍රියාත්මක වීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා ඇත.

අධිකරණයේදී කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් චායා ශ්‍රී නම්මුණි මහත්මිය, මෙම ගැටලුව සමථයකට පත් කිරීමට ඉඩ ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබාගැනීමට කල් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළාය. පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ද එම ඉල්ලීමට සිය එකඟතාව පළ කළේය. ඒ අනුව කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, දෙපාර්ශ්වයටම සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා නියෝග කරමින් මෙම සමථය පිළිබඳව වැඩිදුරටත් සලකා බැලීම සඳහා පෙත්සම ලබන 27 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.