separate-calculations-for-95-octane-and-super-diesel-in-sinopec---lioc-sheds

සයිනොපෙක් සමාගම අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අභිබවා යමින් සිදුකර ඇති මෙම සංශෝධනයට අනුව, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 122 කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 487 ක් ලෙස දැක්වේ.

තවද, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 219 කින් ඉහළ නංවා ඇති බැවින් එහි නව මිල රුපියල් 573 ක් දක්වා වැඩි වී ඇත. එහෙත්, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල ගණන් තෙල් සංස්ථාවේ මිල ගණන් වලටම සමාන වන සේ පිළිවෙළින් රුපියල් 398 ක් සහ රුපියල් 382 ක් ලෙස නොවෙනස්ව පවත්වාගෙන යාමට එම සමාගම තීරණය කර තිබේ. මෙම තීරණය හා සමාන තීරණයක් අද දින ඇතුළත LIOC සමාගම මගින්ද නිකුත් කරන්නට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඊයේ රාත්‍රී Ceypetco නිවේදනය ප්‍රකාරව ඉන්ධන මිල වැඩි කරන බව කීවත් ඔක්ටේන් 95 ට හා සුපර් ඩීසල් වලට LIOC සමාගම මිල වෙනසක් ගැන සඳහන් නොකර පසුවට කල් තබන ලදි. ඒ අනුව නිල වශයෙන් කෙරෙන නිවේදනය අද දින නිකුත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම තීරණයට විශේෂ හේතුව වී ඇත්තේ නෞකාවේ සිට ගොඩ බාද්දී වලංගුවන ඒ අවස්ථාවේ බොරතෙල් මිල බව අදාළ සමාගම් ප්‍රකාශ කර තිබේ. ඔවුන් පුද්ගලික සමාගම් නිසා කිසිසේත් පාඩු පිට මෙම කාර්ය සිදුකරන්නට කැමතිනැති බවද දන්වා ඇත.




පෞද්ගලික ඉන්ධන සමාගම්වලට මෙලෙස තමන්ට අභිමත පරිදි වැඩි මිලකට ඉන්ධන අලෙවි කිරීමට නීතිමය හැකියාවක් පවතින්නේද යන්න සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමු වී ඇත.

මේ හා අදාළ නීතිමය පසුබිම සලකා බැලීමේදී, දැනට බලාත්මකව පවතින්නේ අවසාන වශයෙන් නිකුත් කරන ලද අංක 2479/27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනතේ 66 වන වගන්තිය මගින් බලශක්ති අමාත්‍යවරයා වෙත පවරා ඇති බලතලවලට අනුව අදාළ ඉන්ධන මිල සංශෝධනය කරන බව එම ගැසට් නිවේදනයේ පැහැදිලිව සඳහන් කර තිබේ. එමගින් ප්‍රධාන ඉන්ධන වර්ග පහක් සඳහා සංශෝධිත නව මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒවා නිශ්චිත මිල ගණන් ලෙස මිස උපරිම හෝ අවම අගයන් ලෙස එහි දක්වා නොමැත. එමෙන්ම, අදාළ ගැසට් පත්‍රයේ නියම කර ඇති මිල ගණන් කිසියම් නිශ්චිත ආයතනයකට හෝ භූමි ප්‍රදේශයකට පමණක් සීමා වන බවක්ද එහි කිසිදු තැනක සඳහන් කර නැත.




ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනතේ 66(1) වගන්තිය ප්‍රකාරව, බලශක්ති අමාත්‍යවරයාට මුදල් අමාත්‍යවරයාගේද එකඟතාවය ලබාගනිමින් ඉන්ධන සඳහා උපරිම මිලක්, අවම මිලක් හෝ නිශ්චිත මිලක් නියම කරමින් අදාළ නියෝගයන් නිකුත් කිරීමේ බලය හිමිව පවතී. එම පනතේ 66(2) අනු වගන්තිවලට අනුව, මෙවැනි මිල නියම කිරීමක් සිදුකරන විට එය ඛනිජ තෙල් සංස්ථාවට පමණක් බලපැවැත්වෙන පරිදි සිදු කිරීමට ප්‍රතිපාදන ඇත. එසේ නොමැති නම්, එය වෙළෙඳපොළේ සිටින සියලුම පාර්ශ්වයන්ට බලපාන පරිදි හෝ, යම් නිශ්චිත භූමි ප්‍රදේශයකට සහ කාල සීමාවකට පමණක් අදාළ වන පරිදි පැනවීමටද අමාත්‍යවරයාට නීතිමය හැකියාව සලසා දී තිබේ.