how-the-rmv-boss-changed-a-year-ago-after-claiming-to-fight-fraud

අරගලය මගින් ජනතාව අපේක්ෂා කළේ වංචාව දූෂණය සහමුලින් නෙරපා දමන්නටය. වෙනසක් වෙනුවෙන් නව රජයක් පත් කරගත්තේද එබැවිනි.

නමුත් රජයේ උවමනාව වගකිවයුතු නිලධාරීන් තේරුම් නොගැනීම කණගාටුවට කරුණකි. වයඹ පළාත් සභාවේ මාර්ග හා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ඒ සම්බන්ධ සුදුසුකම් සහිත අයෙකු ලෙස කමල් අමරසිංහ මහතා පසුගිය 2025 වසරේ මෝටර් රථ ප්‍රවාහන ‍කොමසාරිස් ජෙනරාල් වරයා ලෙස සිය ධුරයේ පිහිටුවනු ලැබුවේ
 රජයේ අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ඔහු වගකීම් ගත හැකි සුදුසුකම් සහිත නිලධාරියෙකු ලෙස තේරුම් ගැනීමෙනි. ඔහු වැඩභාරගත් අවස්ථාවට 2025 අප්‍රේල් මාසයේ කෙටි උත්සවයක්ද පැවති අතර මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ද එක් විය.


එහි දී පැමිණ සිටි පිරිස ඇමතූ නියෝජ්‍ය අමාත්‍යවරයා, 

“මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව රටට, සමාජයට විශාල සේවයක් ඉටුකරන, ජනතාවට ඉතාම සමීප ආයතනයක්. ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය යටතේ පවතින ආයතන අතරින් ජනතාවට වඩාත් බද්ධ වූ ආයතනයක්. රියදුරු බලපත් ලබාගැනීම, රථවාහන ලියාපදිංචි කිරීම ඇතුලු ජනතාවට අත්‍යවශ්‍ය සේවා සපයන මෙම ආයතනය, 

පසුගිය කාලවල සිදුවූ විවිධ අක්‍රමිකතා හේතුවෙන් ජනතාව අතර කලකිරිලයි තිබුණේ. කෝපා කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම නිසා ආයතනයට විවිධ ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. එවැනි ගැටලු යළි ඇති නොකර, ජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් ලබාදීමට නව පරිපාලනය කැපවිය යුතුයි. වංචාවෙන්, දූෂණයෙන් තොර ව, රජයේ පුනරුද ගමන සමග ඒකාත්මික වෙමින් ඉදිරියට ගමන් කළ යුතුයි.” යනුවෙන් පවසා තිබුණි.


මෙහි දී අදහස් දැක්වූ මෙකී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, කමල් අමරසිංහ මහතා, “රජයේ ප්‍රතිපත්තිවලට අනුව මහජන හිතෛෂී, ආදර්ශමත් සේවාවක් ඉදිරියේ දී ලබා දෙනවා. ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය අපේක්‍ෂා කරන ඉහළ මට්ටමේ සේවාවක් ජනතාවට ලබාදීම අරමුණ යි. එමෙන් ම විධිමත්, ඵලදායී, මිත්‍රශීලී සේවාවක් වෙනුවෙන් මා ඇතුළු කාර්ය මණ්ඩලය කැපවෙනවා.” 

යයි පැවසූවද මාස කිහිපයකින් ඔහු වෙනස්වී ඇති බව පෙනෙන්නට තිබේ. 

කැබ් රථයක චැසි අංකය නීතිවිරෝධී ලෙස වෙනස් කර එය ව්‍යාජ ලෙස ලියාපදිංචි කිරීම සඳහා සෘජුවම ආධාර සහ අනුබල දීම නිසා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට පත්වුනේ මෙම තනතුරේ මාස 11 ක් රාජකාරී කර තිබියදීය. ඔහු තවත් වැරදි කර ඇතිදැයි තවම අනාවරණය නොවේ.
අද දින ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.