මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හේතුවෙන් මෙරටට බලපා ඇති ඉන්ධන අර්බුදයට මුහුණ දීම සඳහා හෙට (19) දිනයේ සිට නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව, දැනටමත් ක්‍රියාත්මක කර ඇති QR කේත පද්ධතියට සමගාමීව වාහනවල ලියාපදිංචි අංක තහඩුවේ අවසන් ඉලක්කම පදනම් කරගනිමින් ඉන්ධන නිකුත් කිරීම සිදු කෙරෙනු ඇත.
ජාතික ඉන්ධන සංචිත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් පසුගිය 16 වනදා සිට රජය විසින් මෙම QR පද්ධතිය යළිත් වරක් බලාත්මක කරන ලදී.මෙම නව වැඩපිළිවෙළ පිළිබඳව පැහැදිලි කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා ප්‍රකාශ කළේ දින දර්ශනයේ ඔත්තේ සහ ඉරට්ටේ දින අනුව මෙම බෙදාහැරීම සිදුවන බවයි. එහිදී අංක තහඩුව 0 න් හෝ 2, 4, 6 සහ 8 යන ඉරට්ටේ අංකයකින් අවසන් වන වාහන සඳහා මාර්තු 20 සහ 22 වැනි ඉරට්ටේ දිනවලදී ඉන්ධන ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ. ඊට සමගාමීව, වාහනයේ අවසන් අංකය 1, 3, 5, 7 සහ 9 යන ඔත්තේ අංකයක් නම්, එම වාහන සඳහා මාර්තු 19 සහ 21 වැනි ඔත්තේ දිනවලදී ඉන්ධන ලබා දීමට පියවර ගෙන ඇත.
මෙවැනි පාලන ක්‍රමවේදයක් හඳුන්වා දීමේ ප්‍රධානතම අරමුණ වන්නේ දෛනිකව ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණෙන වාහන ප්‍රමාණය හරි අඩකින් පමණ අවම කර ගනිමින් ජනතාවට වඩාත් විධිමත් සේවාවක් සැපයීමයි. ඊට අමතරව, පවතින ගෝලීය අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සතු ඉන්ධන තොග දැඩි සුපරීක්ෂාකාරීව සහ අරපිරිමැස්මෙන් යුතුව කළමනාකරණය කර ගැනීම ද මෙමගින් අපේක්ෂා කරන බව කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

