
මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මෙරටට ඉන්ධන සැපයීම ප්‍රමාද වීමත් සමග පවතින සංචිත කළමනාකරණය කිරීමේ අරමුණින් රජය විසින් යළි හඳුන්වා දුන් කිව්.ආර් (QR) සහ ඔත්තේ - ඉරට්ටේ ක්‍රමවේදය හේතුවෙන් මේ වන විට රට පුරා දිගු ඉන්ධන පෝලිම් විශාල වශයෙන් අඩු වී ඇත. ඊයේ (19 වැනිදා) සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමග ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පෝලිම් සම්පූර්ණයෙන්ම දක්නට නොලැබුණු බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා ප්‍රකාශ කර තිබුණි.
ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඊයේ දිනයේදී ඉන්ධන රැගත් නෞකාවක් දිවයිනට ළඟා වූ බවත්, ඉදිරියේදී පැමිණීමට නියමිත බවට තහවුරු කර ඇති ඉන්ධන තොග සමග එළඹෙන මැයි මාසය අවසන් වන තෙක් ඉන්ධන සැපයුම ගැටලුවකින් තොරව පවත්වාගෙන යා හැකි බවත්ය. වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම සහ මාසික දින දර්ශනයට අනුව ඔත්තේ හෝ ඉරට්ටේ දින ගළපා ඉන්ධන නිකුත් කිරීම සිදුවන අතර, වාහනවල අයිතිය තමන් නමට පවරාගෙන නොමැති පුද්ගලයින්ට කිව්.ආර් පහසුකම සකසා දීමේ කටයුතුද මේ වන විට බොහෝදුරට අවසන් කර ඇති බව කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත්, සාමාන්‍ය පරිදි හෙට සහ අනිද්දා යන දිනවල බෙදුම්කරුවන් වෙත ඉන්ධන නිකුත් කිරීමක් සිදුනොවන බව ඛනිජ තෙල් සංස්ථාව යයි පවසන නිවේදනයක් හේතුවෙන් වැරදි අවබෝධයක් මතුව තිබුණි.
පිරවුම්හල්වල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමටත් ඇණවුම් ප්‍රමාදවීම් වළක්වා ගැනීමටත් අදාළ චෙක්පත් පෙර දිනයේම තොග පර්යන්තය හෝ ඇණවුම් අංශය වෙත භාරදෙන ලෙස ඔවුන්ට උපදෙස් දී තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසන්නේ, පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉන්ධන සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකා බෙදාහැරීම් කටයුතු අඛණ්ඩවම සිදුකළ යුතු බවයි.හෙට(21) සහ අනිද්දා(22) ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයෙන් ඉන්ධන නිකුත් කරන්නේ නැති බවට පල වන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසයි.
දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට අඛණ්ඩව ඉන්ධන සැපයීම සිදුවේ.
අද(20) දිනයේ ඉන්ධන නිකුත් කෙරෙන්නේ වාහනයේ අවසන් අංකය ඉරට්ටේ සංඛ්‍යාවක් වන වාහනවලට පමණි.
QR කේතයට හා ඔත්තේ / ඉරට්ටේ ක්‍රමයට ඉන්ධන ලබාදීමෙන් තදබදය අවම වී ඇති අතර සියලු දෙනාට පහසුවෙන් ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව හිමිවී ඇත.
මෙම නව රීතිවලට අනුව, අද දිනය ඉරට්ටේ දිනයක් බැවින් ඉන්ධන ලබාගත හැක්කේ වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම ඉරට්ටේ අංකයක් වන වාහන සඳහා පමණි. මේ අතර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ කිව්.ආර් පද්ධතිය ආශ්‍රිතව මතු වී තිබූ ගැටලු මේ වන විට මුළුමනින්ම විසඳා ඇති බවයි. එනමුත්, මෙම කිව්.ආර් ක්‍රමවේදය ආරම්භ කර සතියකට ආසන්න කාලයක් ගතවී තිබුණද, ඇතැම් වාහන හිමියන්ට තවමත් එක් වරක් හෝ ඉන්ධන ලබාගැනීමට නොහැකි වී ඇති බවට ද තොරතුරු වාර්තා වේ.

