පසුගිය 2026 මාර්තු මස 23 වන දින කොහුවල කළුබෝවිල පීරිස් මාවත ප්‍රදේශයේදී චීන ජාතික කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව පළාගොස් සැඟව සිටින ප්‍රධාන සැකකරු සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජන සහාය ඉල්ලා සිටියි. පොලිස් වාර්තාවලට අනුව, කොහුවල පොලිස් වසමට අයත් නිවාස සංකීර්ණයක කුලියට ගත් නිවසක් තුළ පදිංචිව සිටි අදාළ කාන්තාවට පිහියකින් ඇන මෙම ඝාතනය සිදු කර තිබේ.
මෙම අපරාධය සම්බන්ධයෙන් පොලිසිය විසින් සොයමින් පවතින සැකකරු වං හුයින් (Wang Huiyin) නමැති චීන ජාතිකයෙකු වන අතර, ඔහු ඝාතනයට ලක්වූ කාන්තාවගේ හිටපු පෙම්වතා බවට මේ වන විට විශ්වාස කෙරේ. 2000 වසරේ ජුනි මස 01 වන දින උපත ලබා ඇති මෙම පුද්ගලයා, EE6791329 සහ ER3805969 යන විදෙස් ගමන් බලපත්‍ර අංක භාවිත කරන අයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත. තවද, ඔහුව හඳුනාගැනීම සඳහා විශේෂිත සලකුණක් ලෙස, සැකකරුගේ වම් අතේ ඇඟිලිවල මැහුම් යෙදූ තුවාලයක් පවතින බව පොලිසිය විසින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
සිය පෙම්වතිය හා අමනාපවීමෙන් පසු ඇය වාසය කළ නිවාස සංකීර්ණය යාබද නිවසක පදිංචිවී සැලසුම්සහගත ලෙස පෙම්වතිය වාසය කරන නිවාස ඒකකයට පැන පිහියකින් ඇන පෙම්වතිය ඝාතනය කර තිබූ අතර එහි රැඳී සිටි තවත් චීන ජාතිකයෙකුට තුවාල සිදුකර පළාගොස් තිබුනි. තුන්කොන් ප්‍රේමයක ආරවුලක් නිසා මෙම පුද්ගලයා ඝාතනය සිදුකරන්නට ඇති බවට සැක කෙරේ. මෙම පුද්ගලයා පිලිබඳ තොරතුරු වෙතොත් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දන්වා සිටින ලෙස ඉල්ලා තිබේ.රතුපැහැති ටීෂර්ටය ඇඳ සිටින මෙම පුද්ගලයාගේ ඡායාරූපයක්ද පොලිසිය ප්‍රසිද්ධ කර තිබේ.

