නව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය යටතේ වංචනික ලෙස වෙනත් පුද්ගලයින්ගේ වාහන සඳහා ජාතික ඉන්ධන බලපත්‍රයේ QR කේත සකස් කළ පිරිස් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් පැමිණිලි කර ඇති බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය පවසයි. එහි උපදේශක සුමුදු රත්නායක මහතා පෙන්වා දෙන්නේ, ඊයේ (19) දිනයේදී හඳුන්වා දුන් නව ක්‍රමවේදය අවභාවිත කරමින් මෙම වංචාවන් සිදුකර ඇති බවත්, එදින පමණක් නව QR කේත ලක්ෂ හයක් පමණ පද්ධතිය තුළ නිර්මාණය කර ඇති බවත්ය.
කෙසේ වෙතත්, මෙම QR කේත ක්‍රමවේදය හරහා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු මේ වනවිට ඉතා සාර්ථක මට්ටමකින් සිදුවෙමින් පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරයි. එම රෙගුලාසිවලට අනුව අද (20) දිනයේ දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් මගින් ඉන්ධන නිකුත් කරනු ලබන්නේ වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම ඉරට්ටේ අංකයක් හෝ බිංදුව වන වාහන සඳහා පමණක් බව එම සංස්ථාව වැඩිදුරටත් දැනුම් දෙයි.
මේ අතර, නිසි බලපත්‍රයක් නොමැතිව ලොරි රථයකින් පෙට්‍රල් ලීටර් 65ක් ප්‍රවාහනය කළ පුද්ගලයෙකුට රුපියල් 2,500ක දඩයක් සහ මාස දෙකක අනිවාර්ය සිරදඬුවමක් නියම කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (19) නියෝග කළේය. වැල්ලවත්ත පොලීසියට ලැබුණු තොරතුරකට අනුව පෙරේදා (18) රාත්‍රියේ වැල්ලවත්ත ප්‍රදේශයේ පිරවුම්හලක් අසලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබූ අතර, එහිදී රුපියල් විසිදහසක් පමණ වටිනා පෙට්‍රල් අඩංගු කෑන් හතරක් ද පොලිස් භාරයට ගෙන ඇත. අදාළ දඬුවම් නියම වූ පුද්ගලයා ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
නීතිවිරෝධී ලෙස ඉන්ධන ගබඩා කිරීම් සහ ප්‍රවාහනය කිරීම් සම්බන්ධයෙන් තවත් වැටලීම් කිහිපයක්ම ක්‍රියාත්මක වී ඇති අතර, ඉන් එක් වැටලීමක් ඊයේ (19) රාත්‍රියේ කටුනායක පොලිස් වසමේ හීනටියන ප්‍රදේශයේදී සිදුකර තිබේ. එහිදී නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ඩීසල් ලීටර් 410ක් රහසිගතව ගබඩා කරගෙන සිටි 40 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
ඊට සමගාමීව හලාවත පොලිස් බලප්‍රදේශයට අයත් මුදලියාවෙල ප්‍රදේශයේදී ද නීතිවිරෝධී ලෙස ඩීසල් ලීටර් 55ක් තම සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු ඊයේ (19) දිනයේදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය. මෙලෙස නීතියේ රැහැනට කොටුවී ඇත්තේ ඉලප්පදෙනිය ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පුද්ගලයෙකි.

