a-rapper-became-the-prime-ministers-seat-in-the-post-struggle-nepal-general-election

නේපාලයේ පැවැත්වෙන මහ මැතිවරණයේ ඡන්ද ගණනය කිරීම් තවදුරටත් සිදුවෙමින් පවතින අතර, මේ වන විට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව එරට මීළඟ අග්‍රාමාත්‍යවරයා බවට පත්වීම සඳහා හිටපු රැප් ගායකයෙකු මෙන්ම දේශපාලඥයෙකු ද වන බාලේන්ද්‍ර ෂා පැහැදිලි පෙරමුණක් ගෙන තිබේ. පසුගිය ජනවාරි මාසය දක්වා අගනුවර වන කත්මණ්ඩු නුවර නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ ඔහු, මෙවර මැතිවරණයේදී නේපාල කොමියුනිස්ට් පක්ෂයේ (UML) හිටපු අග්‍රාමාත්‍ය කේ.පී.

ඔලි සහ නේපාල කොංග්‍රසයේ ගගන් තාපා වැනි ප්‍රබල අපේක්ෂකයින් සමඟ තරග වදියි.




සිකුරාදා සන්ධ්‍යාව වන විට නිකුත් වූ නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව, සෘජුවම තේරී පත්වන ආසන 165න් තුනෙන් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක පෙරමුණ ගැනීමට බාලේන්ද්‍රගේ මධ්‍යස්ථවාදී 'ජාතික ස්වාධීන පක්ෂය' (RSP) සමත් වී ඇත. එහිදී නේපාල කොංග්‍රසය දෙවන ස්ථානයටත්, UML පක්ෂය තුන්වන ස්ථානයටත් පත්ව සිටියි. කෙසේ වෙතත්, කඳුකර භූමි විෂමතාවයකින් යුත් නේපාලයේ දුෂ්කර ප්‍රදේශවලින් ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සඳහා හෙලිකොප්ටර් යානා භාවිතා කිරීමට සිදුවන බැවින් ඡන්ද ගණනය කිරීමේ කටයුතු සාම්ප්‍රදායිකව මන්දගාමී ස්වභාවයක් ගනී. මේ හේතුවෙන් අවසන් ප්‍රතිඵලය දැනගැනීම සඳහා තවත් දින කිහිපයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, 2022 වසරේ පැවති මැතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් කිරීමටද සති දෙකකට වඩා වැඩි කාලයක් ගතවිය.

බාලෙන් යන කෙටි නාමයෙන් ජනප්‍රිය වී ඇති 35 හැවිරිදි ඔහු වෘත්තියෙන් ව්‍යුහාත්මක ඉංජිනේරුවරයෙකි. දශක ගණනාවක් පුරා නේපාල හිප්-හොප් (Nephop) සංගීත ක්ෂේත්‍රයේ නියැලී සිටින ඔහුගේ බොහෝ ගීත සමාජ ගැටලු පාදක කරගනිමින් නිර්මාණය වී ඇති අතර, මිලියන ගණනක ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් "බලිදාන්" (පරිත්‍යාගය) නමැති ගීතය ඒ අතරින් ප්‍රමුඛ වේ. සමාජ මාධ්‍ය තහනම් කිරීමකට එරෙහිව ආරම්භ වී, පසුව දූෂණය, විරැකියාව සහ ආර්ථික කඩාවැටීමට එරෙහිව පසුගිය වසරේදී නේපාලයේ ඇති වූ දැවැන්ත විරෝධතා මාලාවත් සමඟ බාලේන්ද්‍රගේ ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. පුද්ගලයින් 77 දෙනෙකුට ජීවිත අහිමි කරමින් නිමාවූ එම අරගලයේ ප්‍රතිඵලයක් ලෙස එවකට සිටි නායක කේ.පී. ඔලිට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට ද සිදුවූ නමුත්, 74 හැවිරිදි ඔහු නැවතත් මෙවර මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයෙන් පසුවෙයි.




එම විරෝධතාකරුවන්ට සහාය පළ කළ බාලේන්ද්‍ර, කේ.පී. ඔලි රට පාවා දුන් "ත්‍රස්තවාදියෙකු" ලෙසද එකල විවේචනය කළේය. කෙසේ වෙතත් දේශපාලන පිටියේදී ඔහුගේ හැසිරීම් සහ ප්‍රකාශ ඇතැම් පාර්ශ්වයන්ගේ විවේචනයට ලක්ව ඇති අතර, නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී වීදි වෙළෙන්දන් සහ ඉඩම් නොමැති ජනතාව ඉවත් කිරීම සඳහා පොලිසිය යොදාගැනීම මානව හිමිකම් සංවිධානවල දෝෂදර්ශනයට ලක්විය. එසේ වුවද, මෙවර මැතිවරණයේදී කේ.පී. ඔලිගේ සාම්ප්‍රදායික බලකොටුවක් ලෙස සැලකෙන 'ජාපා 5' මැතිවරණ කොට්ඨාසයෙන්ම තරග වැදුණු බාලේන්ද්‍ර මේ වන විට එම කොට්ඨාසය තුළද සැලකිය යුතු පෙරමුණක් ගෙන සිටීම විශේෂත්වයකි. ඔහු සිය මැතිවරණ ව්‍යාපාරය පුරාවටම මාධ්‍ය මඟහරිමින් කටයුතු කළ අතර, එය මාධ්‍ය නිදහස පිළිබඳ ගැටලු මතුකර ඇතත් තරුණ ඡන්දදායකයින් විශ්වාස කරන්නේ රටේ අනාගතය වෙනස් කිරීම සඳහා අවශ්‍ය නව ජවය ඔහු සතු බවයි.

මෙම මැතිවරණයේදී නේපාල ජනතාව මන්ත්‍රීවරුන් 275 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තුවක් තෝරා පත් කර ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කළහ. ඉන් මන්ත්‍රීවරුන් 165 දෙනෙකු සෘජු ඡන්දයෙන් තේරී පත්වන අතර, ඉතිරි 110 දෙනා තෝරා ගැනෙන්නේ පක්ෂ ලබාගන්නා ජාතික ඡන්ද ප්‍රතිශතය මත පදනම් වූ සමානුපාතික නියෝජන ක්‍රමය හරහාය. ලියාපදිංචි ඡන්දදායකයින් මිලියන 19කට ආසන්න පිරිසක් සුදුසුකම් ලබා සිටි මෙම මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 60%ක් පමණ වෙතැයි මැතිවරණ කොමිසම පවසයි.



පසුගිය වසරේ පැවති විරෝධතාවලින් අනතුරුව එළඹි මෙම මැතිවරණය, පැරණි සහ නව දේශපාලන බලවේග අතර තීරණාත්මක සටනක් බවට පත්ව ඇත. 2022 වසරේදී සිව්වන ස්ථානයට පත්වූ ජාතික ස්වාධීන පක්ෂය මෙවර පෙරමුණ ගැනීම තුළින්, දශක තුනකට වැඩි කාලයක් පුරා ප්‍රධාන පක්ෂ තුනක් වටා භ්‍රමණය වූ සභාග ආණ්ඩු ක්‍රමයෙන් මිදී නව නායකත්වයක් කරා ගමන් කිරීමට නේපාල ජනතාව තුළ ඇති අපේක්ෂාව මනාව පිළිබිඹු වේ. මෙවර මැතිවරණයේ අපේක්ෂකයින්ගෙන් තුනෙන් එකක්ම ස්වාධීන අපේක්ෂකයින් වීමද විශේෂත්වයකි. රැකියා උත්පාදනය, දූෂණය පිටුදැකීම සහ යහපාලනය උදෙසා දේශපාලන පක්ෂ ලබාදුන් පොරොන්දු හමුවේ, ලක්ෂ 8කට අධික ප්‍රථම වතාවට ඡන්දය ප්‍රකාශ කළ පිරිස ඇතුළු තරුණ පරපුරේ ඡන්දය මෙවර මැතිවරණයේ ප්‍රතිඵලය තීරණය කිරීමේ ප්‍රබලම සාධකයක් වී තිබේ.

a-rapper-became-the-prime-ministers-seat-in-the-post-struggle-nepal-general-election

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3