කොළඹ වරාය නගරය කේන්ද්‍ර කරගනිමින් නව ව්‍යාපාරික ආයෝජන එකසිය පනහකට අධික ප්‍රමාණයක් මේ වන විට සාර්ථකව ලියාපදිංචි වී ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අනාවරණය කළේය. කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ වන නියෝග අනුමත කිරීම මෙන්ම වත්මන් ගෝලීය තත්ත්වය පිළිබඳව ඊයේ (19) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.
ඒ අනුව, වර්ග මීටර් මිලියන 6.3ක භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි දැවැන්ත විදේශ ආයෝජන ප්‍රමාණයක් මෙරටට ගෙන ඒම වත්මන් රජයේ ප්‍රධාන අපේක්ෂාව වී තිබේ.අතීතයේ පැවති යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මත මෙම වරාය නගර ව්‍යාපෘතියට විරෝධය පළ වුවද, පසුගිය සමය පුරාවටම ගෙන්වා ගැනීමට හැකි වූයේ ආයෝජන ව්‍යාපෘති තුනක් පමණක් බවත් ඉන් එකක් අතරමඟ නැවතී තිබුණු බවත් හඳුන්නෙත්ති මහතා සිහිපත් කළේය. කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුව මැදිහත් වී එම අඩාල වූ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කර ඇත. පනත සම්මත වූ දා පටන් ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට නොහැකි වූයේ එවකට පැවති පවුල් සහ හවුල් පාලන තන්ත්‍රය තුළ මුල්බැසගෙන තිබූ දූෂණය සහ කොමිස් මුදල් අපේක්ෂා කිරීමේ සංස්කෘතිය හේතුවෙන් බව අමාත්‍යවරයා අවධාරණය කළේය. වර්තමානය වන විට එම දූෂිත ක්‍රමවේදයන් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, කිසිදු අක්‍රමිකතාවකින් තොරව අපක්ෂපාතීව සහ සාධාරණව කටයුතු කිරීමට නව රජය පියවර ගෙන තිබේ.
ආයෝජකයන් තුළ විශ්වාසය ගොඩනැංවීම සඳහා වත්මන් රජයේ දේශපාලන ස්ථාවරත්වය ප්‍රබල සාධකයක් වී ඇති අතර, ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් උසස් ආර්ථික කළමනාකරණ කමිටුවක් ද මේ සඳහා ස්ථාපිත කර ඇත. විදේශ ආයෝජන සඳහා සෘජුවම කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කටයුතු සම්පාදනය කර ඇති රජය, ආයෝජකයන්ට මුහුණ දීමට සිදුවන ප්‍රමාදයන් අවම කිරීම සඳහා ද විශේෂ අවධානයක් යොමු කර තිබේ. ඒ අනුව, ආයතන විසිහයකින් පමණ අනුමැතිය ලබාගැනීමේදී සිදුවන කාලය නාස්ති වීම වළක්වා, සති හයක් වැනි කෙටි කාලයක් ඇතුළත එකම වහලක් යටින් සියලු අනුමැතීන් ලබා දීමේ කඩිනම් වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
ගෝලීය වශයෙන් පවතින අර්බුදකාරී සහ යුදමය වාතාවරණයන් හමුවේ වුවද ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සැපයුම් ජාලයන්හි කිසිදු බිඳවැටීමක් සිදුව නොමැති බව කර්මාන්ත අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ධීවර කර්මාන්තය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන අතරම, කර්මාන්තශාලා දහතුන්සියයක් සඳහා අවශ්‍ය ඉන්ධන පහසුකම් කිසිදු හිඟයකින් තොරව ලබා දීමට රජය කටයුතු කර ඇත. රට තුළ ස්ථාපිත කර ඇති මෙම ශක්තිමත් දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය හේතුවෙන් ගෝලීය ව්‍යවසායකයන් ශ්‍රී ලංකාව කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති බවත්, මෙය රටේ දැවැන්ත ආර්ථික පරිවර්තනයක ආරම්භය සනිටුහන් කිරීමක් බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

