කොළඹ කුරුඳුවත්ත රෝයල් මාස් එරීනා පරිශ්‍රයේදී ප්‍රකට රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා විසින් සංවිධානය කළ ‘සීජී රාජකීය අවුරුදු කුමරා සහ කුමරිය’ තේරීමේ තරගයකදී, ආරක්ෂිත සත්ත්වයකු වන පිඹුරකු ගෙලවටා දමාගෙන නර්තනයක් ඉදිරිපත් කළ තරුණිය වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඩී.ජේ. ප්‍රේමරත්න මහත්මිය ඊයේ (23) වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
මෙලෙස වරෙන්තු නිකුත් කෙරුණේ නෙත්මි හිරන්‍යා නමැති සැකකාර තරගකාරියකට එරෙහිවය. වනජීවී හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ සතෙකුට හිංසා කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් වන බැවින්, මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා කාර්යාලයට පැමිණෙන ලෙස අදාළ තරුණියට මීට පෙර දැනුම් දී තිබුණි. එහෙත් ඇය එම කැඳවීම දිගින් දිගටම මගහැරීම හේතුවෙන් කොළඹ වනසත්ව අඩවි ආරක්ෂක නිලධාරීන් විසින් ඊයේ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීමේ නියෝගය ලබාගෙන ඇත.
අධිකරණයේදී කරුණු දැක්වූ වනජීවී නිලධාරීන්ගේ ඉල්ලීමකට අනුව, මෙම තරගයේ ප්‍රධාන සංවිධායකවරයා වන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගෙන් ද වහාම ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අතිරේක මහෙස්ත්‍රාත්වරිය විසින් අවසර ලබා දී තිබේ.
කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය හරහා දැඩි ආන්දෝලනයක් ඇති කළ මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ තරුණිය පසුගියදා ප්‍රසිද්ධියේ අදහස් දක්වා තිබුණි. තමන් මෙම නර්තනය සඳහා පිඹුරකු යොදාගත්තේ සිය සහජ දක්ෂතාවය සහ මෙවැනි සතෙකු හැසිරවීමට ඇති නිර්භීතභාවය ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් බව ඇය එහිදී සඳහන් කළාය. එසේම මෙහිදී යම් නීති විරෝධී ක්‍රියාවක් සිදුවී ඇත්නම් එහි සම්පූර්ණ වගකීම තමන් භාරගන්නා බවත්, එම වරද සංවිධායකවරයා වෙත නොපටවන ලෙසත් ඇය ඉල්ලා තිබුණි.
මෙම සිදුවීම සමාජ මාධ්‍ය තුළ මහත් කතාබහකට ලක්වූයේ මෑතකදී වනජීවී දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කළ තවත් නීතිමය පියවරක් හා මෙය සෘජුවම සැසඳීම හේතුවෙනි. බැකෝ යන්ත්‍රයකට හසුවී මරණාසන්නව සිටි පිඹුරෙකු තම පෞද්ගලික ධනය වැයකරමින් ප්‍රතිකාර කර සුවපත් කළ ලක්ෂාන් මධුශංක නමැති පරිසරවේදී තරුණයෙකුට, බලපත්‍ර රහිතව ආරක්ෂිත සතෙකු ළඟ තබාගැනීමේ චෝදනාව මත අධිකරණය විසින් රුපියල් 50,000ක දඩයක් නියම කරනු ලැබීය.
මිනිස් වාසයට පැමිණෙන සර්පයින් නිරුපද්‍රිතව මුදාහරින අහිංසක සතෙකු මරණයෙන් බේරාගත් තරුණයෙකුට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කළ බලධාරීන්, ප්‍රසිද්ධ උත්සවයකදී පිඹුරෙකු යොදාගෙන සිදුකළ මෙම රංගනයට අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ මිලියන ගණනක් නරඹන තෙක් නිහඬව සිටීම සම්බන්ධයෙන් ජනතාවගෙන් දැඩි විවේචන එල්ල වී තිබුණි.
Video -Tharindu Welhenage
