සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැකකෙරෙන 'දෙමටගොඩ රුවන්' නමැත්තාට අධිකරණයෙන් ඇප ලබාගැනීම සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද (23) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබිණි. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධියට වරදකරු වී මේ වන විටත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටින ඔහු, බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව යටතේ අද පෙරවරු 10.00 ට පමණ කොමිසම වෙත රැගෙන විත් ඇති අතර, පැය හතරක පමණ ප්‍රශ්න කිරීමකින් අනතුරුව පස්වරු 2.30 ට පමණ නැවත රැගෙන ගොස් ඇත.
මෙම විමර්ශනය ආරම්භ වී ඇත්තේ දෙමටගොඩ රුවන් නමැත්තාට ඇප ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ එකසිය පනහක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියක් පදනම් කරගනිමිනි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී දුමින්ද සිල්වාගේ අනුදැනුම මත මෙම මූල්‍ය ගනුදෙනුව සිදුව ඇති බවට අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ මීට පෙර කරුණු වාර්තා කර තිබිණි. ඒ අනුව මෙම පැමිණිල්ලේ දෙවන සැකකරු ලෙස ආර්. දුමින්ද සිල්වා නම් කිරීමට කොමිසම කටයුතු කර ඇත.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් රහස් පොලිසිය හරහා දෙමටගොඩ රුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී, ඔහුගේ පවුලේ අනෙකුත් සාමාජිකයින් අත්අඩංගුවට පත්වීම වැළැක්වීමට සහ රුවන්ට ඇප ලබාගැනීමට ඔහුගේ පුතා වන තරිඳු නැමැත්තා උත්සාහ කර තිබේ. එහිදී ඔහු දුමින්ද සිල්වා මුණගැසී ඇති අතර, ඇප ලබාගැනීමේ කටයුතු සලසා දීම සඳහා මොහොමඩ් මොහිදීන් සප්රාස් නවාස් නමැති පුද්ගලයා හමුවන ලෙසට දුමින්ද සිල්වා එහිදී උපදෙස් ලබා දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම සිද්ධියට අදාළව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් සප්රාස් නවාස් නමැති සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී හෙළි වී ඇත්තේ ඔහු හරහා රුපියල් ලක්ෂ පනහක මුදලක් ලබාගෙන ඇති බවයි. ඊට අමතරව රුපියල් ලක්ෂ සියයක අල්ලස් මුදලක් ලබාගත් බව කියන තවත් සැකකරුවෙකු මේ වන විටත් මියගොස් ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබේ. මුලදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණද, පැමිණිලිකරුට එල්ල වූ විවිධ තර්ජන හේතුවෙන් එය ඉල්ලා අස්කරගෙන ඇති අතර පසුව අල්ලස් කොමිසම සිය ස්වාධීන විමර්ශන හරහා මෙම කරුණු තහවුරු කරගෙන සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
දුමින්ද සිල්වාව පැය හතරක පමණ ප්‍රශ්න කිරීමකින් අනතුරුව පස්වරු 2.30 ට පමණ නැවත රැගෙන ගොස් තිබුණි.

