more-lives-could-have-been-saved-if-it-hadnt-taken-eleven-hours-to-respond

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා රූපවාහිනී වැඩසටහනකට පැමිණ දැක්වූ අදහස් මෙසේය:




මට මතකයි එදා පාර්ලිමේන්තුවේ කිව්වා ගෙදර ඉඳලා එන ගමන් සෝෂල් මීඩියා පාවිච්චි කරනවා කියලා. තමන්ට තියෙන තොරතුරු සමාජයට ලබා දෙන එක වරදක් නෙවෙයි. පාර්ලිමේන්තුවේ කතා කරන එකත් වරදක් නෙවෙයි. එයින් ජනාධිපතිතුමාට පීඩනයක් එනවා නම් ඒ ගැන අපිට කරන්න දෙයක් නෑ. හැබැයි ඒ පීඩනය නැති වුණාම මොකද වුණේ? ප්‍රතිචාර දක්වන්න පැය එකොළහක් තිබුණා. ඊයේ මේ ජීවිත බේරාගෙන තිබුණේ නෑ, ඒත් බේරාගන්න තිබුණා. ඒ ජීවිතත් ජීවිත, මේ ජීවිතත් ජීවිත. ඒ නිසා තමයි ජනාධිපතිතුමාට අපි කියන්නේ, ඔබතුමා මේ රටේ ජනාධිපති. මේ රටේ ජනතාව ඔබතුමාට මේ රටේ වගකීම භාර දීලා පත් කරලා තියෙන්නේ මේ වගේ සිල්ලර දේවල් පස්සේ එළවන්න නෙවෙයි.

අපිටත් සංවේදීකමක් තියෙනවා. ඔවුන් අපේ මිත්‍ර ජාතියක්. අපේ මුහුදේ, අපේ අසල්වැසි කලාපයේ, අතේ දුරින් බේරගන්න උදව් කරන්න පුළුවන් මානයකයි ඒ අය හිටියේ. එතකොට කොහොමද ඇමෙරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය, ඉරානය වැනි මේ බලවතුන් අතර සමතුලිතතාව ඇති කරලා රාජතාන්ත්‍රික ක්‍රමවේදයන් පාවිච්චි කරන්නේ? මේ අන්තිම මොහොතේ හෝ හරියාකාරව කළ යුතු දේ කිරීම වටිනවා. අපි අගය කළ යුතු දේ අගය කරනවා. අපි විපක්ෂය වුණාට මේ ගැන කතා නොකර ඉන්නේ කොහොමද? මේ නැවේ හරියටම ඉන්නේ 208ක් ද කියලා අපි දැනගන්න ඕනේ. ඒත් 300 කියන එක 208 වුණාම ඔබතුමාට ඇති වෙන ලාභය මොකක්ද?




ඒ නිසා ගරු ජනාධිපතිතුමනි, මම කලින් කිව්වා වගේ ඔබතුමාගේ වගකීම ඉෂ්ට කරන්න. ඒ වෙනුවෙන් කරන්න දෙයක් තියෙනවා.

අවංකවම, හදවතින්ම අපිත් සංවේදී මිනිස්සු. අපිට මේවා අමතක කරන්න බෑ. මතක තියාගන්න, උමා ඔය ව්‍යාපෘතිය හරහා අද මේ රටේ විදුලිබල පද්ධතිය ආරක්ෂා කරන්න ඔවුන් කොච්චර උපකාර කරනවාද? මේ වෙලාවෙත් උතුරට වතුර අරගෙන යන උමං මාර්ග හදන්නේ ඉරාන තාක්ෂණයෙන්. අපිට අදටත් තියෙන එකම පිරිපහදුව හදලා දුන්නෙත් ඉරානයෙන්. ඒ අය අපිට හිතවත්ව හිටපු රටක්.



ඔවුන්ගේ අඩුපාඩු ඇති. ඒ වගේම ජාත්‍යන්තර දේශපාලනය තුළ ඉරානයේ වැඩපිළිවෙළ අපි අනුමත කළ යුතු අවශ්‍යතාවයක් නෑ. නමුත් ඉරානය සහ ඇමරිකාව වැනි අපේ මිත්‍ර රාජ්‍යයන් අතර මේ ප්‍රශ්න මතු වෙච්ච වෙලාවේ, අපි ප්‍රතිචාර දක්වන්න ප්‍රමාද වෙච්ච නිසා අපේ භූමිය ඇතුළේ ඒ අයගේ ජීවිත අහිමි වුණා. එතකොට ඒ සිදුවුණු ලැජ්ජාව වහගන්න අපිට මේ දෝෂාරෝපණ කරන එක හරියන්නේ නෑ. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. ඒක නෙවෙයි කළ යුතු දේ නිසයි අපි මේ වගේ කිව්වේ. දැන් අපේ මිතුරෙකුට ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවා.