පවතින දැඩි ප්‍රහාරාත්මක තත්ත්වය සහ ගෝලීය බලශක්ති සැපයුම පිළිබඳව මතුව ඇති බිය මධ්‍යයේ කුවේට් රාජ්‍යය සිය බොරතෙල් නිෂ්පාදනය කප්පාදු කිරීමට පියවර ගෙන තිබේ. ගල්ෆ් කලාපය ඉලක්ක කරගනිමින් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් සිය දේශසීමා ආරක්ෂකයින් දෙදෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බව කුවේට් බලධාරීන් තහවුරු කර ඇත.
කෙසේ වෙතත් මෙම මරණ සෘජුවම ඉරාන ප්‍රහාරයක ප්‍රතිඵලයක් ද යන්න මෙතෙක් නිශ්චිතවම පැහැදිලි කර නොමැත.මේ අතර කුවේට් ගුවන් ආරක්ෂක පද්ධති හරහා සතුරු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර ගුවනේදීම විනාශ කිරීමේ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින බව එරට හමුදාව පවසයි. පසුගිය ඉරිදා දිනයේදී සෞදි අරාබිය, කටාර් රාජ්‍යය සහ කුවේටය යන රටවල් නව ප්‍රහාර මාලාවකට මුහුණ දුන් බව වාර්තා විය. කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිහිටි ඉන්ධන ගබඩා ඉලක්ක කරගනිමින් ද ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ඉන් හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇති බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි. එරට බලධාරීන් මෙම සිදුවීම හඳුන්වන්නේ සිය අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් එල්ල කළ සෘජු ප්‍රහාරයක් ලෙසයි.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැව් ගමනාගමනයට ඉරානයෙන් එල්ල වන තර්ජන හේතුවෙන් කුවේටය සිය තෙල් නිෂ්පාදන සහ පිරිපහදු කිරීමේ කටයුතු තාවකාලිකව සීමා කර ඇත. ඔපෙක් (OPEC) සංවිධානයේ පස්වන විශාලතම තෙල් නිෂ්පාදකයා වන කුවේටය පසුගිය ජනවාරි මාසයේදී දිනකට තෙල් බැරල් මිලියන 2.6ක නිෂ්පාදන ධාරිතාවක් පවත්වා ගෙන ගියේය. කෙසේ වෙතත්, මෙම තෙල් කප්පාදුව කොපමණ ප්‍රමාණයකින් සිදු කරන්නේදැයි ඔවුන් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති අතර, තත්ත්වය යහපත් වූ වහාම යළිත් පෙර පරිදිම නිෂ්පාදන කටයුතු අරඹන බව කුවේට් ඛනිජ තෙල් සංස්ථාව පවසයි.
යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුමට එල්ල වී ඇති දැඩි බාධා කිරීම් මත මේ සතිය තුළ ලෝක තෙල් මිල 35%කින් පමණ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. ලෝක තෙල් පරිභෝජනයෙන් 20%ක් පමණ ප්‍රවාහනය කෙරෙන ප්‍රධානතම පිවිසුම වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර වීමත් සමඟ නැව් හිමියන් සිය යාත්‍රා එම කලාපයට යැවීම ප්‍රතික්ෂේප කරමින් සිටී. ප්‍රවාහනය ඇනහිටීම නිසා මැදපෙරදිග රටවල තෙල් ගබඩා වේගයෙන් පිරී යමින් පවතින අතර, ඉරාකය ද මේ වනවිට සිය දෛනික තෙල් නිෂ්පාදනය බැරල් මිලියන 1.5කින් කප්පාදු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ජේ.පී මෝර්ගන් (JPMorgan) ආයතනයේ ගෝලීය වෙළෙඳ භාණ්ඩ පර්යේෂණ ප්‍රධානී නටාෂා කනෙවා පෙන්වා දෙන්නේ මෙම යුදමය තත්ත්වය සති තුනකට වඩා පැවතියහොත් ගල්ෆ් කලාපීය රටවල තෙල් ගබඩා සම්පූර්ණයෙන්ම හිස්ව ගොස් නිෂ්පාදන කටයුතු මුළුමනින්ම අත්හිටුවීමට සිදුවනු ඇති බවයි. එසේ වුවහොත් බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා යනු ඇතැයි ද ඇය අනතුරු අඟවයි. මේ වනවිටත් බ්‍රෙන්ට් බොරතෙල් අනාගත ගිවිසුම් මිල 8.52%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 92.69ක් ලෙස සටහන් වන අතර, ඩබ්ලිව්.ටී.අයි (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 90.90ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය ඉතිහාසයේ වාර්තා වූ විශාලතම සතිපතා මිල ඉහළ යාම්වලින් එකක් ලෙස සැලකේ.
මේ අතර ලෝක ස්වභාවික වායු සැපයුමට ද මෙම තත්ත්වය දැඩි අර්බුදයක් නිර්මාණය කර තිබේ. ලෝකයේ ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) අපනයනයෙන් 20%ක පමණ දායකත්වයක් ලබාදෙන කටාර් රාජ්‍යයට ඉරානයෙන් එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ඔවුන්ගේ ස්වභාවික වායු නිෂ්පාදන කටයුතු ද මේ වනවිට අත්හිටුවා ඇත. විදුලි නිෂ්පාදනයට සහ නිවාස උණුසුම් කිරීමට බහුලව භාවිත කරන මෙම ද්‍රවීකෘත ස්වභාවික වායු සැපයුම කඩා වැටීම ලෝක බලශක්ති වෙළෙඳපොළට දැඩි බලපෑමක් එල්ල කර ඇත.