kurunegala---dambulla-expressway-approved

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වන අදියර IV වැනි මාර්ග කොටස ඉදිකිරිම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.සමස්ත මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්පූර්ණ අපේක්ෂිත ප්‍රතිලාභ සාක්ෂාත් කරගැනීම සඳහා කිලෝමීටර 58.6ක් වන කුරුණෑගල සිට දඹුල්ල දක්වා වන අදියර IV ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.




එම අදියරේ ඉදිකිරීම සඳහා හඳුනාගත් ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු සිදු කිරීම පිණිස 2025 ජූනි 9 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.ඉඩම් අත්පත් කරගැනීමේ ක්‍රියාවලියේ භෞභෞතික ප්‍රගතිය සියයට 73ක් වන අතර, ඉඩම් අත්පත් කරගැනීම සඳහා තවදුරටත් වන්දි ගෙවීම සිදු කළ යුතුව තිබේ.

ඒ අනුව, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වන අදියර IV වැනි මාර්ග කොටස ඉදිකිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් එම අදියර ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම පිණිස වන යෝග්‍ය මුදල් ප්‍රභවය හඳුනාගෙන, ඒ අනුව අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර දීමට නියමිතය.




එම අදියර භූ තාක්ෂණිකව සංවේදි ප්‍රදේශ හරහා දිවෙන බැවින්, ඉදිකිරීම ආරම්භ කිරීමට පෙර මූලික හා තාක්ෂණික පරීක්ෂණ, බෑවුම් ස්ථායිතාව සහ නායයෑම් අවදානම තක්සේරු කිරීම ජාතික ගොඩනැගිලි පරේක්ෂණ සංවිධානය මගින් ඉටු කරවා ගැනීමට කටයුතු කරනු ඇත.එම අදියර ප්‍රධාන හා සුළු ජල මාර්ග කිහිපයක් හරහා ගමන් කරන බැවින්, ජලවිද්‍යාත්මක නිර්මාණ, ගංවතුර අවදානම් තක්සේරුව සහ කුණාටු ජල කළමනාකරණ සැලසුම් සකස් කිරීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් ඉටු කරවා ගැනීම සඳහා ප්‍රවාහන,මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත කර තිබේ.