kata-died-in-the-hospital-after-being-hit-by-a-motorcycle

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අලුත්ගම-වැලිපැන්න පිවිසුම ආසන්නයේදී පසුගිය 3 වැනිදා සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ. එම අනතුර සිදුකර පළායමින් සිටි යතුරුපැදිකරු තවත් අනතුරකට ලක්ව රෝහල්ගත කර ඇතැයි වැලිපැන්න පොලිසිය වාර්තා කරයි.




මියගිය කාන්තාව දර්ගා නගරය, මීගම, පහේ කණුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තිදරු මවක වන කේ.ඒ. සදීමා දිල්රුක්ෂි මහත්මිය බව පොලිසිය හඳුනාගෙන තිබේ. මෙම මාරක අනතුර සිදුව ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අලුත්ගම-වැලිපැන්න පිවිසුම් මාර්ගයේ හතර කණුව ප්‍රදේශයේදීය. පොලිස් විමර්ශනවලට අනුව, වැලිපැන්න දෙසින් අලුත්ගම දෙසට එකම දිශාවට ධාවනය වූ යතුරුපැදි දෙකක් අතර ගැටීමක් මෙහිදී සිදුව ඇත. එහිදී සැකකාර යතුරුපැදිකරු විසින් පදවාගෙන ආ යතුරුපැදිය, මියගිය කාන්තාව පදවාගෙන ගිය යතුරුපැදියේ පිටුපස ගැටී තිබේ.

අනතුර සිදුකළ සැකකරු, ඉන් අනතුරුව එම ස්ථානයෙන් පළා යමින් සිටියදී තවත් යතුරුපැදියක ගැටීමෙන් දෙවැනි අනතුරකට ලක්ව ඇත. ඔහු මුලින් දර්ගා නගරයේ රජයේ රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව කළුතර නාගොඩ ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ. එහිදී ඔහු පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මියගිය කාන්තාව දර්ගා නගරයේ රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලිසිය පවසයි.




අනතුරට සම්බන්ධ 22 හැවිරිදි සැකකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත බව වැලිපැන්න පොලිසිය පවසයි. මෙම මරණය සම්බන්ධයෙන් වැලිපැන්න හදිසි මරණ පරීක්ෂක නිහාල් ජයනෙත්ති මහතා විසින් හදිසි මරණ පරීක්ෂණය පවත්වා ඇත. නාගොඩ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය කේ.ටී.එම්. බී.ටී. ගුණතිලක මහතා විසින් සිදුකළ මරණ පරීක්ෂණයේදී, මරණයට හේතුව හිසට හා ගෙලට සිදුවූ බරපතළ තුවාල බව තහවුරු වී තිබේ.

හදිසි මරණ පරීක්ෂණයෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින්, වැලිපැන්න හදිසි මරණ පරීක්ෂක නිහාල් ජයනෙත්ති මහතා පැවසුවේ, යතුරුපැදි ධාවනයේදී සහ ගමන් කිරීමේදී ආරක්ෂිත හිස්වැස්මක් අනිවාර්ය කර ඇත්තේ ධාවකයාගේ සහ මගීන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් බවයි. හිස්වැසුම් නොමැතිව ගමන් කරන පුද්ගලයන්ට පොලිසිය දඩ පත්‍රිකා නිකුත් කළ විට, එම පොලිස් නිලධාරීන්ට බැණවදින බවත්, පොලිසිය තම රාජකාරිය කරන්නේ මහජනතාවගේ ජීවිත ආරක්ෂාව උදෙසා බව නොසිතන බවත් ඔහු අවධාරණය කළේය.



හිස්වැස්ම අතේ එල්ලාගෙන යාම සඳහා නොව, හිස ආරක්ෂා කර ගැනීම සඳහා බව පෙන්වා දුන් මරණ පරීක්ෂකවරයා, වර්තමානයේ තරුණ පිරිස් මාර්ගයේ අනෙකුත් පිරිස් පිළිබඳ නොසලකා රිය පැදවීම නිසා මෙවැනි අනතුරු බහුල වී ඇති බව සඳහන් කළේය. රටට සේවයක් කළ හැකි වටිනා මිනිස් ජීවිත මෙලෙස අහිමිවීම පිළිබඳව සියලු පුරවැසියන් සැලකිලිමත් විය යුතු බව අවධාරණය කළ ඔහු, අනතුර සිදුකළ යතුරුපැදිකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැලිපැන්න පොලිසියට නියෝග කළේය.

kata-died-in-the-hospital-after-being-hit-by-a-motorcycle