බන්ධනාගාර නිලධාරියෙකුගේ අතක් කපා වෙන් කර යතුරුපැදියක් කොල්ලකෑම ඇතුළු බරපතළ අපරාධ ගණනාවකට චෝදනා ලබා සිටින සැකකරුවන් දෙදෙනෙකු ලබන මාර්තු මස 13 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක ඉලංගකෝන් මහතා විසින් නියෝග කරන ලදී. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ අලුත්ගේ චතුර දුලාංග නමැති විසිදෙහැවිරිදි තරුණයෙකු සහ කුලප්පු තන්ත්‍රිගේ ඩිලාන් මදුෂාන් නමැති තිස්හය හැවිරිදි පුද්ගලයෙකි.
මීට පෙර මෙම මස 24 වැනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෙම සැකකරුවන්, එදින යළිත් අධිකරණය හමුවට පමුණුවනු ලැබීය. මොවුන් විසින් මුදල්, ජංගම දුරකථන සහ යතුරුපැදි තුනක් කොල්ලකා ඇති බව එහිදී අනාවරණය විය. ඊට අමතරව, මෙම පුද්ගලයින් දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය භාවිතයට මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමට ද සම්බන්ධ වී ඇති බව පොලිසිය විසින් අධිකරණයට කරුණු දක්වන ලදී. පොලිස් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔවුන් සතුව තිබී රුපියල් ලක්ෂ පහළොව බැගින් වටිනාකමකින් යුත් කොල්ලකන ලද යතුරුපැදි තුනක්, අපරාධ සඳහා භාවිත කළ මන්නා පිහි දෙකක් සහ හෙරොයින් ග්‍රෑම් 12,300 ක ප්‍රමාණයක් ද සොයාගෙන තිබේ.
සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ තුෂාර ගුණරත්න මහතා සඳහන් කළේ සිය සේවාදායකයින්ට බන්ධනාගාරය තුළදී අමානුෂික අන්දමින් පහර දී ඇති බවයි. එම පහරදීම් හේතුවෙන් ඔවුන් දෙදෙනාගේම අත් පා බිඳී ඇති බවත්, හිසට බරපතළ තුවාල සිදුකර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. ඊට අමතරව, සැකකරුවන්ව අසූචි කානුවලට දමා වධහිංසා පමුණුවා ඇති බවට චෝදනා කළ නීතිඥවරයා, මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බව අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම කරුණු සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අදාළ සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරීවරයාගෙන් කඩිනම් වාර්තාවක් කැඳවීමට නියෝග කළේය. තවද, සැකකරුවන් වහාම අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු වෙත ඉදිරිපත් කර අදාළ වෛද්‍ය වාර්තා ලබා ගන්නා ලෙසද බන්ධනාගාර නිලධාරීන්ට වැඩිදුරටත් දැනුම් දෙන ලදී. හොරණ පොලිසිය වෙනුවෙන් පොලිස් සැරයන් ගීකියනගේ මහතා විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර, නඩුව මාර්තු 13 වැනිදා යළි කැඳවීමට නියමිතව ඇත.