රාජ්‍ය අංශයේ පවතින අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා විවිධ අමාත්‍යාංශ සහ පළාත් සභා වෙත නව සේවකයින් 15,839 දෙනෙකු බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද විශේෂ නිලධාරී කමිටුවක් මගින් ලබා දුන් නිර්දේශ මත රජය විසින් මෙම තීරණය ගෙන ඇත.
රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කරමින්, එහි අවශ්‍යතා සහ ප්‍රමුඛතා හඳුනාගැනීම සඳහා මෙම කමිටුව පත් කිරීමට 2024 දෙසැම්බර් 30 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරිණි. ඒ අනුව, අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතු බඳවා ගැනීම් ප්‍රමාණයන් සම්බන්ධයෙන් සුදුසු කාලරාමුවක් යටතේ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවරී තිබුණු ප්‍රධාන වගකීම විය.
අදාළ අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ වෙනත් ආයතනවල පුරප්පාඩු සම්පූර්ණ කිරීම වෙනුවෙන් ඉදිරිපත් වී තිබූ ඉල්ලීම්, 2026 පෙබරවාරි 12 වන දින පැවති අදාළ කමිටු රැස්වීමේදී පුළුල් ලෙස සලකා බලා තිබේ. අනතුරුව එම කමිටුව විසින් ලබා දුන් නිර්දේශ ගරු අග්‍රාමාත්‍යවරිය විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම පිරිස බඳවා ගැනීම සඳහා අනුමැතිය හිමිව ඇත.
අනුමත වී ඇති මුළු පුරප්පාඩු සංඛ්‍යාවෙන් වැඩිම පිරිසක් බඳවා ගැනීමට නියමිතව ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහා වන අතර එම සංඛ්‍යාව 9,794කි. මීට අමතරව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සඳහා සේවකයින් 1,915ක් ද, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා 776ක් ද බඳවා ගැනීමට නියමිතය.
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට පුරප්පාඩු 339ක්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට 300ක්, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට 214ක්, පරිසර අමාත්‍යාංශයට 213ක් සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට 201ක් ලෙස මෙම බඳවා ගැනීම් සිදු කිරීමට නියමිතව තිබේ. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහා සේවකයින් 121ක්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයට 112ක්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට 67ක්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට 66ක්, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට 60ක් මෙන්ම වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයට 50ක් වශයෙන් ද බඳවා ගැනීම් අනුමත වී ඇත.
මීට අමතරව, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශය සඳහා පුරප්පාඩු 15ක්, නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය සඳහා 10ක්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහා 9ක්, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සඳහා 6ක්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහා 3ක් සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහා 2ක් වශයෙන් ද පුරප්පාඩු පිරවීමට නියමිතය. කම්කරු අමාත්‍යාංශය මෙන්ම බලශක්ති අමාත්‍යාංශය සඳහා අනුමත වී ඇත්තේ එක් පුරප්පාඩුවක් බැගිනි.
පළාත් සභා වල පවතින පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් සලකා බැලීමේදී, වැඩිම පුරප්පාඩු ප්‍රමාණයක් පිරවීමට නියමිතව ඇත්තේ උතුරු පළාත් සභාව සඳහා වන අතර එය 411කි. වයඹ පළාත් සභාව සඳහා 401ක්, නැගෙනහිර පළාත් සභාව සඳහා 282ක්, සබරගමුව පළාත් සභාව සඳහා 236ක්, ඌව පළාත් සභාව සඳහා 146ක්, උතුරු මැද පළාත් සභාව සඳහා 66ක් සහ මධ්‍යම පළාත් සභාව සඳහා පුරප්පාඩු 22ක් වශයෙන් පිරවීමට අමාත්‍ය මණ්ඩලය විසින් වැඩිදුරටත් අනුමැතිය ලබා දී තිබේ.