ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා විසින් එයාර් බස් ගනුදෙනුව හරහා අල්ලස් ලෙස ලබාගත් මුදල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට ලබා දී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (19) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය කළේය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කපිල චන්ද්‍රසේන මහතා අද දින බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.
බෝදරගම මහතා විසින් සැකකරු ලබන මස 2 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී නියෝග කරනු ලැබීය.ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායකවරයා මෙන්ම එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී මෙම මූල්‍ය අක්‍රමිකතාව සිදුකර ඇති බවට විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු දැක්වූහ. තම බිරිඳ ඇතුළු තවත් පිරිසක් සමග එක්ව කුමන්ත්‍රණය කර ඇති සැකකරු, අල්ලස් මුදල් ලබාගැනීමේ පරමාර්ථයෙන් සිය බිරිඳගේ නමින් බෲනායි රාජ්‍යයේ ව්‍යාජ සමාගමක් ස්ථාපිත කර ඇති අතර, ඊට අදාළව සිංගප්පූරුවේ බැංකුවක ගිණුමක් ද විවෘත කර මුදල් ලබාගෙන ඇති බව අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර බී වාර්තාවේ දැක්වේ.
සැකකරු ලබා දුන් ප්‍රකාශවලට අනුව, ඔහු විසින් අදාළ ගනුදෙනුවෙන් උපයාගත් රුපියල් මිලියන අසූවක මුදලක් ප්‍රභූන් දෙදෙනෙකු වෙත බෙදා දී තිබේ. ඒ අනුව, 2015 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද ඉල්ලීමක් මත රුපියල් මිලියන විස්ස බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන හැටක මුදලක් බෙලිඅත්ත සහ කාල්ටන් නිවෙස්වලදී ඔහු වෙත ලබා දී ඇති බව අනාවරණය විය. ඊට අමතරව ඉතිරි රුපියල් මිලියන විස්සක මුදල හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට ලබා දී ඇති බවත්, අදාළ අල්ලස් මුදල්වලින් කොටසක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන ශමින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ගිණුමට ද බැර කර ඇති බවත් අල්ලස් කොමිසම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම සිදුවීමට අදාළව නම් කර සිටින ප්‍රියංකා නියෝමාලි විජේරත්න සහ ශමින්ද්‍ර රාජපක්ෂ යන අයට එරෙහිව වරෙන්තු නිකුත් කරන ලෙස විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, එම ඉල්ලීමට අදාළව සාක්ෂි විභාග කිරීම සඳහා ලබන මාර්තු 24 වන දින නඩුව යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. තවද, සැකකරුගේ ප්‍රකාශයේ සඳහන් වන සියලුම පුද්ගලයන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙසද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අල්ලස් කොමිසමට වැඩිදුරටත් දැනුම් දෙනු ලැබීය.

