ඊශ්‍රායල ජාතික කොඩිය ගිනිතබන බවට සමාජ මාධ්‍යයේ පළ කළ සටහනක් පදනම් කරගනිමින් අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතික තරුණයෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පිළිගත් දෙහිවල පොලිස් ස්ථානාධිපති අනුරාධ හේරත් මහතා, අදාළ තරුණයාගෙන් සමාව අයදිනු ලැබීය. ඊට අමතරව, අසාධාරණයට ලක්වූ තරුණයාට සිදුවූ අගතිය වෙනුවෙන් රුපියල් ලක්ෂ විස්සක වන්දි මුදලක් ද ස්ථානාධිපතිවරයා විසින් විවෘත අධිකරණයේදීම ඔහු වෙත ලබා දෙන ලදී.
මෙම එකඟතාවයට එළඹීම සිදුවූයේ අගතියට පත් ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි හෝටල් සේවකයෙකු වන මොහොමඩ් රිසාන් මොහොමඩ් නමැති තරුණයා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය. දෙහිවල පොලිසියේ ස්ථානාධිපති අනුරාධ හේරත්, පොලිස් කොස්තාපල් ජයතුංග සහ ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ යන මහත්වරුන් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.
පසුගිය වසරේ ඔක්තෝබර් මස 24 වැනි දින මාවනැල්ල ප්‍රදේශයේදී වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කර ඇත. ඉන් අනතුරුව ගල්කිස්ස උසාවිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ බව පෙත්සමේ කරුණු දක්වා තිබේ. කෙසේ වෙතත්, පසුව නීතිපතිවරයාගේ මැදිහත්වීම මත අදාළ තරුණයා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට පියවර ගැනුණි.
පොලිසිය විසින් සිදු කළ මෙම අත්අඩංගුවට ගැනීම හරහා සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත්, ඒ වෙනුවෙන් තමන්ට වන්දි මුදලක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු සිය පෙත්සමෙන් අධිකරණයෙන් ඉල්ලා තිබුණි. මෙම නඩු විභාගයේදී පෙත්සම්කාර තරුණයා වෙනුවෙන් නීතිඥ ඉල්ෆාන් හසන් අලි මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නීතිඥ හිෂාප් හිස්බුල්ලා මහතා පෙනී සිටි අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීම ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා විසින් සිදු කරන ලදී.
