බස්නාහිර පළාත තුළ සිදුවන අපරාධ සහ නීති විරෝධී ක්‍රියාකාරකම් මර්දනය කිරීමේ අරමුණින් මහජනතාවට තොරතුරු ලබා දීම සඳහා නවතම WhatsApp දුරකථන අංකයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව, දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන පරිදි 0777 128 128 යන WhatsApp අංකය ජනතාවගේ භාවිතය සඳහා විවෘත කර තිබේ. බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුවන ඕනෑම අපරාධයක්, මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ තොරතුරු මෙන්ම අනෙකුත් සියලුම නීති විරෝධී ක්‍රියාවන් පිළිබඳව මෙම නව අංකයට පණිවිඩ මගින් දැනුම් දීමේ හැකියාව මහජනතාවට පවතී.
මෙලෙස ලැබෙන තොරතුරු සෘජුවම යොමු වන්නේ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය තුළ ස්ථාපිත කර ඇති විශේෂ මෙහෙයුම් මැදිරිය වෙතයි. තවද, මෙම දුරකථන අංකය ඔස්සේ අපරාධ පිළිබඳව තොරතුරු සපයන පුද්ගලයින්ගේ අනන්‍යතාව සහ රහස්‍යභාවය කිසිදු ගැටලුවකින් තොරව උපරිමයෙන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවද පොලිසිය විසින් අවධාරණය කර සිටී.

