ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ විවාහ මංගල්‍යය සඳහා ලබාගත් විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන දෙකකට අධික හිඟ බිල්පත නිසි කලට අය කර නොගැනීමෙන් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ජූලි මස 01 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීරණය කළේය. මෙම පෙත්සම සලකා බලන ලද්දේ ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේදීය.
නීතිඥ විජිත කුමාර මහතා විසින් ගොනු කර තිබූ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ තිශ්‍ය වේරගොඩ මහතා පෙන්වා දුන්නේ, වගඋත්තරකරුවකු ලෙස නම් කර ඇති ලංකා විදුලිබල මණ්ඩලය මේ වන විට සමාගමක් බවට පරිවර්තනය වී ඇති බවයි. ඒ අනුව නව සමාගම වගඋත්තරකරුවකු ලෙස නම් කිරීම සඳහා පෙත්සම සංශෝධනය කිරීමට අවසර ලබාදෙන ලෙසත්, නව විදුලිබල පනතේ අන්තර්කාලීන විධිවිධාන පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීමට වෙනත් දිනයක් ලබාදෙන ලෙසත් ඒ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පාලිත කුමාරසිංහ මහතා අධිකරණයට දැනුම් දුන්නේ ලංකා විදුලිබල මණ්ඩලයට අයත් දේපළ මෙන්ම වගකීම් මේ වන විට පුද්ගලික සමාගම් පහකට පවරා ඇති බවයි. එසේම, අදාළ විවාහ උත්සවයට අදාළ විදුලි බිල මේ වන විටත් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර ඇති බවද හෙතෙම සඳහන් කළ අතර, මීට පෙර අවස්ථාවකදීද වගඋත්තරකරුවන් විසින් අදාළ බිල්පත පියවා ඇති බව අධිකරණයට දැනුම් දී තිබුණි.
කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දක්වමින් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා අවධාරණය කළේ සාමාන්‍ය ජනතාවගේ සුළු වටිනාකමකින් යුත් විදුලි බිලක් ප්‍රමාද වූ සැණින් විදුලිය විසන්ධි කිරීමට පියවර ගන්නා බලධාරීන් මෙතරම් දැවැන්ත මුදලක් නිසි වේලාවට අය කර ගැනීමට කටයුතු නොකිරීම බරපතළ තත්ත්වයක් බවයි. ලංකා විදුලි බල මණ්ඩලයේ මෙම අසාමාන්‍ය ක්‍රියාකලාපය හරහා ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශයක් ලබා ගැනීම පමණක් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමේ අරමුණ බවද ඔහු පැහැදිලි කළේය. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව, පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එය ජූලි 01 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.

