due-to-the-war-situation-the-price-of-imported-essential-food-may-go-up---minister-wasantha

මැදපෙරදිග කලාපයේ වත්මන් යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් වල යම් වෙනසක් සිදුවීමේ හැකියාවක් පවතින බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. ඊයේ (16) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, විශේෂයෙන්ම ආනයනික අර්තාපල්, ළූණු, පරිප්පු සහ සීනි වැනි එදිනෙදා පරිභෝජනයට ගන්නා භාණ්ඩ සඳහා මෙම ගෝලීය තත්ත්වය බලපෑම් කළ හැකි බවයි.




ශ්‍රී ලංකාවේ පාරිභෝගික අවශ්‍යතාවයෙන් අර්තාපල් සහ ළූණු සියයට 80ක් පමණ ද, සීනි සියයට 90ක් සහ පරිප්පු සියයට 100ක් ම ද විදේශ රටවලින් ආනයනය කරනු ලබන බව ඔහු එහිදී සඳහන් කළේය. එසේ වුවද, මේ වන විට රට තුළ ප්‍රමාණවත් සහල් සංචිතයක් පවතින අතර, ඉදිරි මාස තුන හතරක කාලය සඳහා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩි සහල් නිෂ්පාදනයක් දේශීයව සිදු කර ඇති බැවින් සහල් සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් මතු නොවන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

හාල්මැස්සන් වැනි කරවල වර්ග මෙන්ම ඉන්දියාවෙන් සහ චීනයෙන් විශාල වශයෙන් ගෙන්වනු ලබන තොග භාණ්ඩ සඳහා ද මෙම අර්බුදය සෘජුවම බලපා තිබේ. ජාත්‍යන්තර සැපයුම් ජාලයේ ඇති වී තිබෙන බාධා හේතුවෙන් නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු ඉහළ ගොස් ඇති අතර, ඉදිරියේදී භාණ්ඩ මිල වෙනස් වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ එම කාරණාවයි. ඉන්ධන සහ ගෑස් සැපයුමට පමණක් නොව මෙලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයට ද මෙම ගෝලීය තත්ත්වය සෑම රටකටම පාහේ මේ වන විට බලපෑම් එල්ල කර ඇත.




පාරිභෝගිකයින්ට අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව ලබා දීම වෙනුවෙන් දෛනිකව තත්ත්වය සමාලෝචනය කරමින් අවශ්‍ය පහසුකම් සැලසීමේ කළමනාකරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමට රජය මේ වන විටත් පියවර ගනිමින් සිටියි. යම් හෙයකින් ඉන්ධන නැව් ප්‍රමාද වුවහොත් එයද සැපයුම් ජාලයට යම් බලපෑමක් ඇති කළ හැකි වුවත්, ඉදිරි අප්‍රේල් මාසය දක්වා මෙරටට පැමිණීමට නියමිත ඉන්ධන නැව් 04ක් මගින් ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් අවශ්‍ය තහවුරු කිරීම් මේ වන විටත් ලබා දී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.