increases-disaster-duty-allowances-by-100

විස්තීර්ණ ආපදා අවස්ථාවන්හිදී සහ පශ්චාත් ආපදා කාලසීමාවන් තුළ රාජකාරි කටයුතුවල නිරත වන රජයේ නිලධාරීන්ට ලබාදෙන දීමනාව සියයට සියයකින් (100%) ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී ඇත.




මෙම නව දීමනා වැඩිකිරීම, 2025 නොවැම්බර් 21 වන දින සිට 2025 දෙසැම්බර් 15 වන දින දක්වා පැවති විස්තීර්ණ ආපදා තත්ත්වය හමුවේ රාජකාරි කළ නිලධාරීන්ට ද අදාළ වන පරිදි ගෙවීමට තීරණය කර ඇත. ඊට අමතරව මින් ඉදිරියට ඇතිවන එවැනි ආපදා තත්ත්වයන්හිදී සේවය කරන රාජ්‍ය නිලධාරීන් සඳහා ද මෙම නව දීමනාව හිමිවනු ඇත. ඒ අනුව අදාළ ගෙවීම් සිදු කිරීම සඳහා අවශ්‍ය චක්‍රලේඛ උපදෙස් කඩිනමින් නිකුත් කිරීමට නියමිතව තිබේ.

ආපදා අවස්ථාවලදී රාජකාරි කරන නිලධාරීන් සඳහා අදාළ දීමනාව මීට පෙර ගෙවනු ලැබුවේ 2019 වසරේ සැප්තැම්බර් 01 වන දින නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුවය. එහෙත් වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වයට සරිලන පරිදි එම දීමනාව සංශෝධනය කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙන තිබුණි. ඒ අනුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මෙන්ම ජාතික අයවැය දෙපාර්තමේන්තුව යන ආයතන විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ සහ යෝජනා පදනම් කරගනිමින් මෙලෙස එම දීමනාව දෙගුණයකින් ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.