පසුගිය වසරේ තරුණ ප්‍රජාවගේ මූලිකත්වයෙන් පැවති, රජය පෙරළා දැමූ දැවැන්ත දූෂණ විරෝධී උද්ඝෝෂණවලින් අනතුරුව නේපාලයේ නව දේශපාලන ගමන්මග තීරණය කරන තීරණාත්මක මැතිවරණයක් සඳහා එරට ජනතාව අද දිනයේ සිය ඡන්දය ප්‍රකාශ කරති.
පාර්ලිමේන්තුවේ ආසන 275ක් වෙනුවෙන් පැවැත්වෙන මෙම ඡන්ද විමසීම, පවතින ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් පෙනී සිටින නවක අපේක්ෂකයින් සහ සාම්ප්‍රදායික පැරණි දේශපාලන පක්ෂ අතර තියුණු සටනක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම පසුගිය සැප්තැම්බර් මාසයේ විරෝධතා සඳහා මුල් වූ දූෂණය, විරැකියාව, ආර්ථික එකතැන පල්වීම සහ සමාජ අසමානතාවය යන ප්‍රධාන ගැටලුම මෙම මැතිවරණයේ ද ප්‍රධානතම මාතෘකා බවට පත්ව ඇත.
මෙවර මැතිවරණයේ ප්‍රමුඛතම අපේක්ෂකයින් අතරට ජනතා විරෝධතා හමුවේ බලයෙන් පහ වූ හිටපු අග්‍රාමාත්‍ය කේ.පී. ඔලි සහ ඔහුගේ මැතිවරණ කොට්ඨාසයෙන්ම ඔහුට දැඩි අභියෝගයක් එල්ල කරන හිටපු රැප් ගායකයෙකු මෙන්ම වත්මන් නගරාධිපතිවරයෙකු ද වන බාලෙන් ෂා ඇතුළත් වේ. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා වන මෙම ඡන්ද විමසීමට, ප්‍රථම වතාවට ඡන්දය ප්‍රකාශ කරන මිලියනයකට ආසන්න තරුණ පිරිසක් ද ඇතුළුව මිලියන 19කට ආසන්න ලියාපදිංචි ඡන්දදායකයින් පිරිසක් සුදුසුකම් ලබා සිටිති.
නේපාලයේ පවතින කඳුකර සහ දුෂ්කර භූමි ස්වභාවය හේතුවෙන් ඡන්ද පත්‍රිකා ප්‍රවාහනය කිරීම ඉතා මන්දගාමී කටයුත්තක් වී ඇති අතර, ඡන්ද ගණනය කිරීම ද සම්පූර්ණයෙන්ම සිදු කෙරෙන්නේ මිනිස් ශ්‍රමය භාවිතා කරමිනි. ඒ හේතුවෙන් මෙම මැතිවරණයේ සම්පූර්ණ ප්‍රතිඵල නිකුත් වීම සඳහා දින කිහිපයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.