
බංග්ලාදේශයේ පද්මා නදියට මගී බස් රථයක් පෙරළී යාමෙන් කුඩා දරුවන් ද ඇතුළුව පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඩකා අගනුවර සිට කිලෝමීටර් 100ක් පමණ (හැතැප්ම 62ක්) දුරින් පිහිටි රාජ්බාරි දිස්ත්‍රික්කයේ ඩවුලත්ඩියා ප්‍රදේශයේදී පසුගිය බදාදා මෙම අනතුර සිදුව ඇත.
මගීන් 40 දෙනෙකු රැගත් මෙම බස් රථය පාරු යාත්‍රාවකට ගොඩවීමට උත්සාහ කිරීමේදී රියදුරුට එහි පාලනය ගිලිහී යාම හේතුවෙන් මෙම ඛේදවාචකය සිදුව ඇති බව බලධාරීහු බ්‍රහස්පතින්දා තහවුරු කළහ.අඩි 30ක් (මීටර් 9ක්) පමණ ගැඹුරු දියට ගිලී ගිය බස් රථයේ සිරවී සිටි මළ සිරුරු 22ක් මුදාගැනීමට ගලවාගැනීමේ කණ්ඩායම් සමත් වූ අතර, ඒ අතරට කුඩා දරුවන් පස් දෙනෙකු, කාන්තාවන් එකොළොස් දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් හය දෙනෙකු අයත් වන බව ගිනි නිවන සේවා නිලධාරී තල්හා බින් කාසිම් ප්‍රකාශ කළේය. බේරාගැනීමෙන් අනතුරුව තවත් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. බස් රථය පාරුවකට ගොඩවීමට බලා සිටියදී හදිසියේම ගඟට පෙරළී ගිය බවත්, ඉන් පිටතට පැමිණීමට සමත් වූ ඇතැම් මගීන්ගේ පවුල්වල සාමාජිකයින් රථය තුළ සිරවී මියගිය බවත් සිද්ධිය ඇසින් දුටු 35 හැවිරිදි නූර් ජහාන් බේගම් පවසා ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ දැක්වෙන වීඩියෝ දර්ශන අන්තර්ජාලය පුරා සංසරණය වන අතර, බස් රථය ගඟට පෙරළෙන ආකාරය සහ කම්පනයට පත් වූ ජනතාව කෑගසමින් මගීන් බේරාගැනීම සඳහා දිගු සාලු ගඟට විසිකරන ආකාරය ඉන් පැහැදිලිව දිස්වේ. යුද හමුදාව, පොලිසිය, වෙරළාරක්ෂක බලකාය සහ ප්‍රාදේශීය බලධාරීන්ගේ සහාය ඇතිව ගිනි නිවන සේවා ඒකක හතරක් සහ කිමිදුම්කරුවන් දස දෙනෙකු සෝදිසි කිරීම් සහ ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා තිබේ. කෙසේ වෙතත්, තවත් මගීන් පිරිසක් අතුරුදන්ව සිටින බවට නිලධාරීහු සැක පළ කරති.
බංග්ලාදේශය තුළ දුර්වල මාර්ග පද්ධති, නිසි නඩත්තුවකින් තොර වාහන සහ නොසැලකිලිමත් රිය පැදවීම හේතුවෙන් මෙවැනි මාරාන්තික අනතුරු බහුලව සිදුවේ. එරට මාර්ග ආරක්ෂණ පදනම පෙන්වා දෙන පරිදි, මෑතකදී අවසන් වූ ඊද් නිවාඩු සමයේදී පමණක් මාර්ග අනතුරු හේතුවෙන් මරණ 200කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඉන් එක් අනතුරකදී දුම්රියක් බස් රථයක ගැටීමෙන් 12 දෙනෙකු මියගොස් ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2023 වාර්තාවලට අනුව එරට වාර්ෂිකව රථවාහන අනතුරු හේතුවෙන් මරණ 5,000ක් පමණ නිල වශයෙන් වාර්තා වුවද, සැබෑ මරණ සංඛ්‍යාව 31,500 ඉක්මවන බවට ඇස්තමේන්තු කර තිබේ.

