භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වී මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාට තමන් හදවතින්ම සමාව ලබා දුන් බව සමගි ජන බලවේගයේ රත්මලාන ආසන සංවිධායිකා මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඊයේ (16) ප්‍රකාශ කළාය.
කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කළාය. කොළඹ මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කර ඇති දුමින්ද සිල්වාට ඉන් නිදහස් විය හැක්කේ ජනාධිපති සමාවකින් පමණක් බවත්, තමන්ට එවැනි නෛතික බලයක් නොමැති වුවද තමන්ගේ සිතින් ඔහුට සමාව ලබාදුන් බවත් ඇය එහිදී අවධාරණය කළාය.සිය පියාගේ ඝාතනයෙන් පසුව තමන් සහ දුමින්ද සිල්වා අතර නිර්මාණය වූ වෛරයේ චක්‍රය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු නැති බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ අදහස වී තිබේ. තමන් මේ වන විට දැඩිව කර්මය විශ්වාස කරන බවත්, වපුරන දේ අනුව අස්වැන්න ලැබෙන බවත් ඇය පෙන්වා දුන්නාය. වත්මන් රජය සහ ජනාධිපතිවරයා කටයුතු කරන ස්වභාවය අනුව ඔවුන්ද කර්මය විශ්වාස කරන බවට තමන්ට හැඟී යන බවද ඇය පැවසුවාය. කොළොන්නාවේ පැවති දේශපාලන ගැටුම් තවදුරටත් පවත්වාගෙන යාමෙන් තම මීළඟ භවයටද අකුසල් රැස්වනු ඇති බවත්, මෙම ඛේදවාචකය තුළ තවදුරටත් මානසිකව සිරවී සිටීම තම ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යයටද මහත් බරක් වන බැවින් එම බැඳීම්වලින් නිදහස් වීම තම ප්‍රධාන අරමුණ බවත් ඇය සඳහන් කළාය.
2011 වසරේදී පුද්ගලයින් සිව්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට මරණ දඬුවම ලැබූ දුමින්ද සිල්වාට, 2021 ජුනි 24 වන දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාදුන් ජනාධිපති සමාව යළි අහෝසි කිරීමට හැකිවූයේ එය නීත්‍යානුකූල නොවන අයුරින් ලබා දී තිබූ නිසා බව ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිහිපත් කළාය. වත්මන් ජනාධිපතිවරයාගෙන් එවැනි වැරදි තීරණයක් අපේක්ෂා නොකරන බව පැවසූ ඇය, ජනාධිපති සමාව අභියෝගයට ලක් කිරීම හැර සිය පියා වෙනුවෙන් නීතිය ඉදිරියේ කළ හැකි වෙනත් කිසිවක් තමන්ට ඉතිරිව නැති බව පැවසුවාය. එබැවින් දුමින්ද සිල්වා සම්බන්ධයෙන් ඉදිරියේදී කුමන ආකාරයේ තීන්දුවක් ලැබුණද ඒ පිළිබඳව තමන් තුළ කිසිදු සතුටක් හෝ කනගාටුවක් ඇති නොවන බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
දුමින්ද සිල්වාගේ පවුලට අයත් මාධ්‍ය ජාලය සහ තමන් අතර කිසිදු දේශපාලන හෝ මූල්‍යමය ගනුදෙනුවක් නොමැති බවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙහිදී තරයේ කියා සිටියාය. රජයට එරෙහිව ගොඩනැගී ඇති විරුද්ධ පක්ෂ සන්ධානයට අදාළව කිසිදු රහසිගත එකඟතාවක් තමන්ට නොමැති බව පැවසූ ඇය, තමන් ඔහුට සමාව දුන්නේ මුදල් අපේක්ෂාවෙන් යැයි සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඒවා දේශපාලන අනාථයින්ගේ ප්‍රකාශ බවත් පෙන්වා දුන්නාය. කවර ආකාරයකින් වන්දි ගෙව්වද සිය පියාගේ අහිමි වීමෙන් ජීවිතයේ ඇති වූ හිඩැස කිසිවෙකුටත් පිරවිය නොහැකි බවත්, නැතිවූ ජීවිතය වෙනුවෙන් නැවත එම ජීවිතයම ලබාගත නොහැකි බවත් ඇය මාධ්‍ය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

