2-out-of-5-drones-destroyed-the-american-embassy-in-iraq

ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව පසුගිය පෙබරවාරි මාසයේ අග භාගයේදී ආරම්භ කළ යුදමය තත්ත්වය තවදුරටත් උත්සන්න කරමින්, ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල වී තිබේ. මාර්තු 16 වැනිදා රාත්‍රියේ සහ 17 වැනිදා අලුයම එල්ල වූ මෙම රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර, වත්මන් යුද තත්ත්වය ආරම්භ වූ දා සිට ඇමරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කරගනිමින් දියත් වූ දරුණුතම ප්‍රහාරය ලෙස වාර්තා වේ.

ඉරානයේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායම් විසින් බැග්ඩෑඩ් නුවර අවට ප්‍රදේශ කිහිපයක සිට මෙම ප්‍රහාර එල්ල කර ඇති අතර, තානාපති කාර්යාලය සහ වෙනත් රාජ්‍යතාන්ත්‍රික ගොඩනැගිලි පිහිටා ඇති දැඩි ආරක්ෂිත කලාපයක් වන හරිත කලාපය (Green Zone) මෙහි ප්‍රධාන ඉලක්කය වී ඇත.




මෙම හදිසි ප්‍රහාරයත් සමඟ ක්‍රියාත්මක වූ ඇමරිකානු C-RAM ගුවන් ආරක්ෂක පද්ධති මගින් එල්ල වූ තර්ජන රැසක් ගුවනේදී විනාශ කිරීමට පියවර ගෙන තිබුණි. ඒ අනුව, තානාපති කාර්යාලය වෙත පැමිණි ඩ්‍රෝන යානා පහකින් අවම වශයෙන් දෙකක් හෝ ගුවනේදීම වෙඩි තබා බිම හෙළීමට ඇමරිකානු ආරක්ෂක අංශ සමත් වී ඇත. එහෙත් ආරක්ෂක දැල බිඳගෙන පැමිණි එක් ඩ්‍රෝන යානයක් තානාපති කාර්යාල පරිශ්‍රය තුළට කඩා වැටී ඇති අතර, ඉන් අනතුරුව එම ප්‍රදේශයෙන් විශාල දුම් රොටු සහ ගිනිගැනීම් නිරීක්ෂණය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. මීට අමතරව තවත් ඩ්‍රෝන යානයක් හරිත කලාපයේ පිහිටි අල්-රෂීඩ් (Al-Rasheed) හෝටලයට ද පතිත වී ඇති අතර ඉන් විශාල පිපිරීම් සහ ගිනිගැනීම් හටගත්තද, ප්‍රහාරයෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව මෙතෙක් නිල වශයෙන් වාර්තා වී නොමැත.

මෙම සිදුවීමට පෙරද, එනම් මාර්තු 14 වැනිදා, තානාපති කාර්යාල පරිශ්‍රයේ ඇති හෙලිකොප්ටර් අංගනයකට මිසයිල ප්‍රහාරයක් එල්ල වූ අතර, ඉන් C-RAM ආරක්ෂක පද්ධතියේ කොටස්වලට ද හානි සිදුවිය. එම ප්‍රහාර මාලාවේම දිගුවක් ලෙස එල්ල වූ මෙම නවතම ප්‍රහාරය, ආරක්ෂක පද්ධතීන් අඩපණ කිරීමේ අරමුණින් ඩ්‍රෝන යානා රංචුවක් යොදාගනිමින් සිදුකළ එකක් බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙයි. ප්‍රහාරයෙන් අනතුරුව ඉරාක ආරක්ෂක අංශ විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි හරිත කලාපය මුද්‍රා තබා බැග්ඩෑඩ් නුවර ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත. මේ අතර, කලාපය තුළ අඛණ්ඩව වර්ධනය වන අනාරක්ෂිත තත්ත්වය සහ පැහැරගැනීම් වැනි අවදානම් හේතුවෙන්, ඉරාකයේ රැඳී සිටින සියලුම ඇමරිකානු පුරවැසියන්ට වහාම එරටින් පිටවන ලෙස දන්වමින් ඇමරිකානු තානාපති කාර්යාලය විසින් හදිසි ආරක්ෂක නිවේදනයක්ද නිකුත් කර තිබේ.

2-out-of-5-drones-destroyed-the-american-embassy-in-iraq

2-out-of-5-drones-destroyed-the-american-embassy-in-iraq