මාර්ග නීති උල්ලංඝනය කරමින් යතුරුපැදියක් ධාවනය කළ පුද්ගලයෙකු විසින් නිවැරදි මංතීරුවේ ගමන් කළ වෙනත් යතුරුපැදිකරුවෙකුට සිය ආරක්ෂිත හිස්වැසුමෙන් අමානුෂික ලෙස පහර දීමේ සිදුවීමකට අදාළ සැකකරු කුලියාපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පහර දීම සිදු කර ඇති පුද්ගලයා කාන්තාවක ද සමග යතුරුපැදියකින් ගමන් කර ඇති අතර, ඔහු කුලියාපිටිය, මීගහකොටුව මංසන්ධියෙන් ප්‍රධාන මාර්ගයට ප්‍රවේශ වී ඇත්තේ දකුණෙන් පැමිණෙන වාහන වලට ප්‍රමුඛතාවය ලබා දීමේ නීතිය සම්පූර්ණයෙන්ම නොසලකා හරිමිනි. එම අවස්ථාවේදී ප්‍රධාන මාර්ගයේ නිවැරදි දිශාවට ගමන් කරමින් සිටි මැදිවියෙහි පසුවන යතුරුපැදිකරුවෙකුගේ වාහනයේ ගැටීමට යාමේදී එය නූලෙන් බේරී ඇති අතර, එහිදී ඇති වූ තත්ත්වය මත වරදකරු වූ යතුරුපැදිකරු විසින් අනෙක් පුද්ගලයාට මෙලෙස හිස්වැසුමෙන් දැඩි ලෙස පහර දී තිබේ.
අදාළ මාර්ගයේ ඒ මොහොතේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක සවි කර තිබූ ඩෑෂ් කැමරාවක මෙම සම්පූර්ණ පහර දීමේ සිද්ධිය ඉතා පැහැදිලිව පටිගත වී තිබිණි. පසුව එම වීඩියෝ දර්ශන ඊයේ දිනයේ සිට විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වේගයෙන් සංසරණය වීමට පටන් ගත්තේය.
සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය මෙම දර්ශන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ සෘජු මැදිහත් වීම මත විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා කළ කඩිනම් විමර්ශනයකින් අනතුරුව අද (19) දිනයේදී මෙම සැකකරු නීතියේ රැහැනට කොටු කර ගැනීමට හැකි වී ඇත.
අත්අඩංගුවට පත් වූ පුද්ගලයා කුලියාපිටිය නගරය කේන්ද්‍ර කරගනිමින් නිතර ගැවසෙන අයෙකු බවට පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර, ඔහුට එරෙහිව මීට පෙරද අධිකරණයේ නඩු කිහිපයක්ම විභාග වෙමින් පවතින බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු අදාළ පහර දීම සනාථ කරන වීඩියෝ සාක්ෂි ද සමගින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

