saves-the-medical-student-who-fell-from-the-end-of-the-world-while-taking-a-selfie

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන විසිතුන් හැවිරිදි සිසුවියක් හෝර්ටන්තැන්න ප්‍රධාන ලෝකාන්තය නැරඹීමට ගොස් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී අඩි පනහක් පමණ වූ ප්‍රපාතයකට ඇද වැටීමේ පුවතක් අද 19 වැනිදා වාර්තා විය. තම විශ්වවිද්‍යාලයේ මිතුරු පිරිසක් සමග එදින උදෑසන නවයට පමණ මෙම ස්ථානයට පැමිණි අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති අතර, ප්‍රපාතයට වැටුණු ඇය එහි වූ ගස් අත්තක එල්ලී දිවි ගලවාගෙන ඇත.




මෙම අවදානම් සහගත අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වූ හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට අනුයුක්තව සේවය කරන රියදුරෙකු සිය ජීවිත අවදානමද නොතකා ප්‍රපාතයට බැස ඇත. අනතුරුව ඔහු විසින් අත්තක එල්ලී සිටි අදාළ සිසුවියව ඉන් මුදවාගෙන එම බෑවුමේ පිහිටි ආරක්ෂිත ගලක් මත වාඩි කරවීමට පියවර ගෙන තිබේ. ඉන් පසුව ඇයව සම්පූර්ණයෙන්ම ගොඩගැනීම සඳහා වනජීවී නිලධාරීන් විසින් පට්ටිපොළ පොලිසිය, ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ඉල්ලා සිටින ලදී.

ඒ අනුව ක්‍රියාත්මක වූ නුවරඑළිය ශ්‍රී ලංකා තුන්වන සිංහ රෙජිමේන්තුවේ කමාන්ඩෝ භටයන් ඇතුළු යුද හමුදා සාමාජිකයින්, නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්, පට්ටිපොළ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් මෙන්ම වනජීවී නිලධාරීන්ද එක්ව දැවැන්ත ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කරන ලදී. පැය කිහිපයක දැඩි පරිශ්‍රමයකින් අනතුරුව ප්‍රපාතයේ සිරවී සිටි සිසුවිය නිරුපද්‍රිතව මුදාගැනීමට එම කණ්ඩායම් සමත් වූ බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යාන කළමනාකරු මංජුල මොනරතැන්න මහතා ප්‍රකාශ කළේය. එලෙස මුදාගත් සිසුවිය වැඩිදුර ප්‍රතිකාර කටයුතු සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

saves-the-medical-student-who-fell-from-the-end-of-the-world-while-taking-a-selfie