government-medical-officers-association-in-another-professional-action-from-today-2

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවා ඇති 'ආරෝග්‍යා' ව්‍යාපෘතියෙන් අද (02) දින සිට ඉවත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර තිබේ.




රජයෙන් සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බව සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා සඳහන් කළේය. මේ වන විට තවත් වෘත්තීය ක්‍රියාමාර්ග 7ක් ද ගනිමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා පැවසුවේ, 'ආරෝග්‍යා' ව්‍යාපෘතියේ අරමුණ හෝ එහි පිටුපස ඇති සැබෑ තත්ත්වය පිළිබඳව තමන් කිසිදු දැනුවත් කිරීමක් ලබා නොමැති බවයි. මෙම ව්‍යාපෘතිය සඳහා සක්‍යතා අධ්‍යයනයක් සිදුකර තිබේද, නැතහොත් කාගේ අවසරයකින් හා කුමන පාර්ශවයක මූලිකත්වයෙන් මෙය ක්‍රියාත්මක වන්නේද යන්න ද පැහැදිලි නැති බව වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.




රටේ සෞඛ්‍ය සේවාව තුළ දැවැන්ත ගැටලු ගණනාවක් පවතිද්දී, ගැටලු නොමැති ක්ෂේත්‍රවල අනුපිටපත් (duplicate) වැඩ ආරම්භ කර තිබීම ගැටලු සහගත බව ද ඔහු කීවේය. මෙය දේශපාලන අරමුණකින් ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් බවට තමන්ට සාධාරණ සැකයක් පවතින බව ද වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා අවධාරණය කළේය.

වෛද්‍යවරුන්ගේ සහ සමස්ත සෞඛ්‍ය සේවාවේ පවතින ගැටලු නිරාකරණය නොකර, ගැටලු රහිත අංශවලින් ප්‍රතිලාභ ලබාගැනීමට උත්සාහ කරන බවක් මෙයින් පෙන්නුම් කරන බව ද ඔහු සඳහන් කළේය. මේ කිසිවක් පැහැදිලි නොවන, දේශපාලන මුහුණුවරක් සහිත මෙවැනි ව්‍යාපෘතියකට සහභාගී නොවීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා අවසාන වශයෙන් පැවසීය.