ලංකා විදුලිබල මණ්ඩලයට අනුබද්ධිතව ස්ථාපිත කරන ලද ප්‍රධාන සමාගම් හතරක් වන EGL, EDL, NSO සහ NTNSP හි අධ්‍යක්ෂ මණ්ඩල සහ විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති 25ක් අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව සේවක ගැටලු රැසකට විසඳුම් ලබාදීමට පියවර ගෙන තිබේ. එහිදී වෘත්තීය සමිති විසින් රජය වෙත ඉදිරිපත් කර තිබූ ප්‍රධාන ඉල්ලීම් 64ක් අතුරින් ඉල්ලීම් 62ක්ම ඉටු කිරීමට අදාළ සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සිය එකඟතාවය පළ කර ඇත.
විදුලිබල අමාත්‍යවරයාගේ ද අනුමැතිය සහ මැදිහත්වීම සහිතව 2026 මාර්තු 10 වන දින එළඹුණු මෙම නව එකඟතාවන්ට අනුව, සේවකයින්ට දැනට ගෙවනු ලබන රුපියල් 1,000 සහ රුපියල් 10,000 දීමනාවන් අඛණ්ඩව ලබාදීමට තීරණය කර තිබේ. එමෙන්ම, අදාළ දීමනාවන් ජීවන වියදම් දීමනාව සමග ඒකාබද්ධ කර රජයේ අනුමත ජීවන වියදම් දීමනාව ලෙස සම්පූර්ණ කර ගෙවීමටද නියමිතය. මීට අමතරව, නව සමාගම් යටතේ සේවකයින්ගේ කාර්ය සාධනය මත පදනම් වූ නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දෙන තෙක්, ලංකා විදුලිබල මණ්ඩලය විසින් මේ දක්වා සේවකයින්ට ලබාදුන් වාර්ෂික ප්‍රසාද දීමනාව (Bonus) කිසිදු වෙනසකින් තොරව ලබාදීමටත් තීරණය වී ඇත. එසේම සේවකයින් ඉල්ලා සිටි විශ්‍රාම හිමිකම් දීමනාව සම්බන්ධයෙන් ධනාත්මකව සලකා බැලීම සඳහා CEBEF සමාගමට අවශ්‍ය උපදෙස් ලබාදීමට ද අමාත්‍යවරයා එකඟතාවය පළ කර තිබේ.
විදුලිය සැපයීම අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස සලකා, මහජනතාව දැඩි අපහසුතාවයට පත්කරමින් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ වැඩවර්ජන වහාම නතර කරන ලෙස අදාළ සමාගම් හතරෙහි සභාපතිවරුන් වෘත්තීය සමිතිවලින් දැඩිව ඉල්ලා සිටියි. සේවකයින් වර්ජනය අතහැර සිය දෛනික රාජකාරී කටයුතු යළි ආරම්භ කරන්නේ නම් පමණක්, ඔවුන්ගේ ඉතිරි ඉල්ලීම් දෙක සහ විශේෂයෙන්ම ඉල්ලා ඇති වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ඉදිරි දින දෙක ඇතුළත ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් ලබාදීමට ද විදුලිබල අමාත්‍යවරයා පොරොන්දු වී ඇත.