for-public-services-energy-colony-essential-commodities-welfare-upali-4-committees

පවතින අර්බුදකාරී තත්ත්වයට සාර්ථකව මුහුණ දීම සහ රජයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම අරමුණු කරගනිමින් පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කළේය. එහිදී ඔහු අවධාරණය කළේ වත්මන් අභියෝග කළමනාකරණය කිරීම උදෙසා අද දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රධාන කමිටු හතරක් පත් කිරීමට තීරණය කර ඇති බවයි.




රට තුළ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙන්ම ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් අද (16) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා මෙම තීරණ ගෙන තිබේ.

මෙම නව කැබිනට් තීරණයට අනුව, කිසිදු බාධාවකින් තොරව රාජ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම වෙනුවෙන් ගරු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් ස්ථාපිත කර තිබේ. මීට අමතරව, බලශක්ති අංශයේ ගැටලු සහ අවශ්‍යතා කළමනාකරණය කිරීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතාගේ මූලිකත්වයෙන් බලශක්ති කමිටුවක් ද, අත්‍යවශ්‍ය භාණ්ඩ ක්‍රමවත්ව බෙදාහැරීම සහ එම කටයුතු නියාමනය කිරීම සඳහා බිමල් රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් ද පත් කර ඇත. තවද, සමාජයේ විවිධ ස්ථරයන්හි ජනතාව වෙත අත්‍යවශ්‍ය සුබසාධන පහසුකම් සැලසීමේ වගකීම අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව වෙත පවරා තිබේ.




මෙලෙස ස්ථාපිත කරන ලද එක් එක් කමිටුවල කාර්යයන් වඩාත් කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා ඊට අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය රාජ්‍ය නිලධාරීන් ද පත් කිරීමට රජය පියවර ගෙන ඇත. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම කමිටු යාන්ත්‍රණය හරහා රටේ වත්මන් තත්ත්වය පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු කරමින් අදාළ ඉදිරි කටයුතු ක්‍රමානුකූලව මෙහෙයවීම රජයේ ප්‍රධාන අපේක්ෂාව වන බවයි.

ජනපතිවරයා මෙම තීරණ ගෙන ඇත්තේ මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ මේ වන විට බලශක්ති සැපයුමට එල්ල වී ඇති බාධා සැලකිල්ලට ගනිමිනි. මෙම සාකච්ඡාව සඳහා අදාළ අමාත්‍යවරු සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ එක්ව සිටි බව වාර්තා විය.