පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉදිරියේදී මතුවිය හැකි ගැටලු අවම කර ගැනීමේ අරමුණින් සෑම සතියකම බදාදා දිනය රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා රජයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මේ බව අනාවරණය කළේය.
මෙම නව තීරණයට අනුව පාසල්, විශ්වවිද්‍යාල සහ අධිකරණ ක්ෂේත්‍රය සඳහා ද බදාදා දිනය නිවාඩු දිනයක් ලෙස ක්‍රියාත්මක වනු ඇත. එහෙත් සෞඛ්‍ය, වරාය, ජල සම්පාදන සහ රේගුව වැනි අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව සැපයිය යුතු ආයතන සඳහා මෙම නිවාඩු දිනය අදාළ නොවන බව කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේය.
මීට සමගාමීව, රජය මගින් සංවිධානය කරනු ලබන සියලුම උත්සව කටයුතු නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට ද මෙහිදී තීරණය වී තිබේ. තවද, මෙම නිවාඩු ලබා දීමේ තීරණය පෞද්ගලික අංශය සඳහා ද අදාළ කර ගැනීමට වාණිජ මණ්ඩලය සහ ලංකා සේව්‍ය සම්මේලනය හරහා පෞද්ගලික අංශයෙන් ඉල්ලීමක් කිරීමට ද රජය පියවර ගෙන ඇත.
බදාදා දිනය නිවාඩු දිනයක් බවට පත් කිරීමෙන් පසු සතියේ ඉතිරි දින හතර තුළ කාර්යාල වෙත කැඳවිය යුතු නිලධාරීන් ප්‍රමාණය සහ ඔවුන් කැඳවන ආකාරය පිළිබඳව තීරණය කිරීමේ සම්පූර්ණ බලය අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට පවරා තිබේ. ඊට අමතරව සෙනසුරාදා සහ ඉරිදා යන සතිඅන්ත දිනවලදී ද රජයේ කාර්යාල කටයුතු පවත්වාගෙන නොයන බව ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කළේය.
දැනට පවතින කිව්.ආර්. (QR) කේත ක්‍රමය යටතේ සියලුම අංශ වෙත පොදුවේ ඉන්ධන නිකුත් කිරීමට අමතරව විශේෂිත ක්ෂේත්‍ර සඳහා ප්‍රමුඛතාව ලබා දීමට ද නව වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇත. ඒ අනුව සංචාරක, කර්මාන්ත, සෞඛ්‍ය, කෘෂිකර්ම සහ වැවිලි යන ක්ෂේත්‍ර මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ ප්‍රවාහන කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් අදාළ අමාත්‍යාංශ හරහා වෙනම ගණනය කර, එම අවශ්‍යතාවන්ට සරිලන පරිදි ඉන්ධන නිකුත් කිරීමට නියමිතය.
දැනට රට තුළ ප්‍රමාණවත් තරම් ඉන්ධන සංචිත පවතින බව පෙන්වා දුන් කොමසාරිස් ජනරාල්වරයා, අනාගතයේදී මුහුණ දීමට සිදුවිය හැකි ගැටලු කල්තියා පුරෝකථනය කරමින් ඊට සාර්ථකව මුහුණ දීමේ පූර්ව සූදානමක් ලෙස රජය විසින් මෙම තීරණ ගනු ලැබූ බව වැඩිදුරටත් සඳහන් කළේය.