find-a-forensic-audit-of-the-girls-purchase-of-drugs-and-medical-equipment

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ධුර කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කරන ලද ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා විසින් මේ වන විට විශේෂ වෝහාරික විගණනයක් ආරම්භ කර ඇති බව නීතිපතිවරයා ඊයේ (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තහවුරු කළේය.




මෙම දැනුම් දීම සිදු කරනු ලැබුවේ, අදාළ කාල සීමාව තුළ ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කරමින් සිදු කළ වෛද්‍ය සැපයුම් මිලදී ගැනීම් හරහා මහජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා 'ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා' සංවිධානය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදීය. නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා විසින් මෙම කරුණු අධිකරණයට වාර්තා කරන ලදී.

මෙම පෙත්සම විභාගයට ගැනුණේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේය. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය සිය පෙත්සම මගින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.




නඩුව කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනානි දයාරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ, පෙත්සම පවත්වාගෙන යාමට දැනටමත් අවසර හිමිව ඇති බැවින් එය විභාග කිරීම සඳහා නිශ්චිත දිනයක් ලබා දෙන ලෙසයි. ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැහැදිලි කළේ, මතභේදයට තුඩු දී ඇති කාල වකවානුව තුළ සිදු කළ වෛද්‍ය සැපයුම් මිලදී ගැනීම් 600කට අධික ප්‍රමාණයක් මේ වන විට විගණකාධිපතිවරයාගේ වෝහාරික විගණන විමර්ශනයට ලක්වෙමින් පවතින බවයි. ඊට අමතරව, රහස් පොලිසිය ද මෙම සිදුවීම් දාමය සම්බන්ධයෙන් වෙනමම ස්වාධීන පරීක්ෂණයක් ක්‍රියාත්මක කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.

මේ අතර, වගඋත්තරකරුවකු නියෝජනය කළ නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තමන් විසින් මීට පෙර ඉදිරිපත් කරන ලද මෝසමකට අදාළව එක් විනිසුරුවරයෙකු විසින් නීතියට පටහැනි අයුරින් තීරණයක් ලබා දී ඇති බවට සඳහන් කළේය. ඉදිරිපත් වූ මෙම සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව, වගඋත්තරකාර පාර්ශ්වය විසින් ගොනු කර ඇති මෝසම් පිළිබඳව කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම ලබන මැයි මස 20 වැනිදා යළි කැඳවීමට විනිසුරු මඬුල්ල විසින් නියෝග කරන ලදී.