due-to-the-war-the-vehicles-sent-to-dubai-were-also-landed-at-hambantota-port

මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය වාතාවරණය හේතුවෙන් මේ දිනවල හම්බන්තොට වරාය ආශ්‍රිතව දැඩි නෞකා තදබදයක් නිර්මාණය වී තිබේ. ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග ඩුබායි වරාය වෙත යාත්‍රා කිරීමට නියමිතව තිබූ නෞකා රැසක් සිය ගමනාන්තය වෙනස් කරමින් භාණ්ඩ සහ පාවිච්චි කරන ලද සුඛෝපභෝගී මෝටර් රථ හම්බන්තොට වරායට ගොඩබෑම මීට ප්‍රධාන හේතුව වී ඇත.




මේ හේතුවෙන් ගතවූ සති දෙකක පමණ කාලය තුළ වරාය පරිශ්‍රයේ විශාල තදබදයක් හටගෙන ඇති අතර, රෝල්ස් රොයිස්, ලැම්බොගිනි සහ ෆෙරාරි වැනි ලොව මිල අධිකම සුඛෝපභෝගී වාහන රැසක් ද මෙලෙස ගොඩබා ඇති භාණ්ඩ අතරට අයත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

මෙම තදබදයේ සෘජු ප්‍රතිඵලයක් ලෙස, වාහන පන්සියයක් පමණ රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි ජපානයේ කොබේ මෝටර්ස් සමාගමට අයත් නෞකාවකට දින දහයක පමණ කාලයක් වරායට ඇතුළුවීමට නොහැකිව මුහුදේ නැංගුරම් ලා සිටීමට සිදුවී තිබිණි. වාර්ෂිකව පාවිච්චි කළ වාහන දහඅටදහසක් පමණ අපනයනය කරන, සහ සිය ප්‍රධාන ගැනුම්කරුවා ලෙස ශ්‍රී ලංකාව සලකන මෙම සමාගමට අයත් ඩුබායි වෙත යැවීමට නියමිතව තිබූ සුඛෝපභෝගී මෝටර් රථ පනහක් පමණ මේ වන විට ශ්‍රී ලංකාවට සහ චීනයට ගොඩබා ඇත.