ළමා වියේදී සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් සිය මානසික සෞඛ්‍යයට සිදුවූ හානිය සම්බන්ධයෙන් මෙටා (Meta) සහ යූටියුබ් (YouTube) ආයතනවලට එරෙහිව නඩු පැවරූ තරුණියකට අමෙරිකානු ඩොලර් මිලියන 6ක වන්දියක් ගෙවන ලෙස ලොස් ඇන්ජලීස් ජූරි සභාවක් විසින් ඓතිහාසික තීන්දුවක් ලබා දී තිබේ. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් හිමිකාරීත්වය දරන මෙටා සමාගම සහ යූටියුබ් හිමිකාරීත්වය දරන ගූගල් සමාගම හිතාමතාම ඇබ්බැහි වන ආකාරයේ වේදිකා නිර්මාණය කරමින් වයස අවුරුදු 20ක් වන කේලී (Kaley) නමැති මෙම තරුණියගේ මානසික සෞඛ්‍යයට බරපතළ හානියක් සිදු කර ඇති බව ජූරි සභාව නිගමනය කර ඇත.
මෙම සමාගම් ද්වේශ සහගතව, පීඩාකාරීව සහ වංචනිකව කටයුතු කර ඇති බව තීරණය කළ ජූරි සභාව, ඇයට අලාභහානි ලෙස ඩොලර් මිලියන 3ක් සහ දණ්ඩනීය වන්දි ලෙස තවත් ඩොලර් මිලියන 3ක් ගෙවිය යුතු බවට නියෝග කර ඇති අතර, ඉන් 70%ක වගකීම මෙටා සමාගමත් ඉතිරි 30% ගූගල් සමාගමත් විසින් දැරිය යුතු වේ.කේලීගේ නීතිඥවරුන් අධිකරණයේදී පෙන්වා දුන්නේ මෙම සමාගම් තරුණ පරිශීලකයින් දිගු කාලයක් රඳවා තබා ගැනීමේ අරමුණින් සිය වේදිකා 'ඇබ්බැහි වීමේ යන්ත්‍ර' (addiction machines) ලෙස ගොඩනගා ඇති බවත්, ඉන්ස්ටග්‍රෑම් හි ඇති infinite scroll වැනි විශේෂාංග ඒ සඳහාම සැලසුම් කර ඇති බවත්ය. කේලී සිය සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේ තමන් වයස අවුරුදු 6දී යූටියුබ් ද, අවුරුදු 9දී ඉන්ස්ටග්‍රෑම් ද භාවිත කිරීම ආරම්භ කළ බවත්, එහිදී වයස හේතුවෙන් කිසිදු අවහිරතාවක් සිදුනොවූ බවත්ය. ඇය සමාජ මාධ්‍ය සඳහා සම්පූර්ණ කාලය වැය කිරීම නිසා පවුලේ අය සමඟ සම්බන්ධතා පවා නතර කර ඇති අතර, වයස අවුරුදු 10 සිට කාංසාව සහ විශාදය වැනි තත්ත්වයන්ගෙන් පීඩා විඳීමට පටන් ගෙන ඇත. එසේම, කුඩා කල සිටම ඉන්ස්ටග්‍රෑම් ෆිල්ටර් (filters) භාවිත කරමින් සිය බාහිර පෙනුම වෙනස් කර ගැනීමට උත්සාහ කළ ඇය, මේ වන විට තම ශරීරයේ පෙනුම පිළිබඳව අධික ලෙස කනස්සල්ලට පත්වන 'body dysmorphia' නැමති තත්ත්වයටද ගොදුරු වී සිටින්නීය.
මෙම තීන්දුව සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බවත් ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කරන බවත් මෙටා සහ ගූගල් සමාගම් වෙන වෙනම ප්‍රකාශ කර ඇත. යොවුන් වියේ මානසික සෞඛ්‍යය ඉතා සංකීර්ණ බැවින් එය එක් යෙදුමකට පමණක් සම්බන්ධ කළ නොහැකි බව පවසමින් මෙටා සමාගම සිය ආරක්ෂිත වාර්තා පිළිබඳව විශ්වාසය පළ කරන අතර, ගූගල් ආයතනය පෙන්වා දෙන්නේ යූටියුබ් යනු වගකීමෙන් යුතුව ගොඩනැගූ වීඩියෝ නැරඹීමේ වේදිකාවක් මිස සමාජ මාධ්‍ය ජාලයක් නොවන බවයි. නඩු විභාගයේදී සාක්ෂි දුන් මෙටා ප්‍රධානී මාර්ක් සකර්බර්ග් සිය සමාගම වයස අවුරුදු 13ට අඩු දරුවන්ට වේදිකාවලට පිවිසීම වළක්වන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පැවසුවද, කුඩා දරුවන් එය භාවිත කරන බව සමාගම දැන සිටි බවට අභ්‍යන්තර ලේඛන මගින් තහවුරු විය. එසේම, කේලී දිනකට පැය 16ක් ඉන්ස්ටග්‍රෑම් භාවිත කළ බවට ඉදිරිපත් වූ කරුණ ඇබ්බැහි වීමක් බව පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ඉන්ස්ටග්‍රෑම් ප්‍රධානී ඇඩම් මොසේරි, එය යෞවනයෙකුගේ 'ගැටලු සහගත' හැසිරීමක් ලෙස පමණක් හැඳින්වීය.
මෙම නඩුවේ මුල් විත්තිකරුවන් ලෙස නම් කර සිටි Snap සහ TikTok සමාගම් නඩු විභාගයට පෙර කේලී සමඟ රහසිගත සමථයකට පත්වී තිබුණි. මෙම ජයග්‍රහණය ප්‍රකාශයට පත් වීමත් සමඟම අධිකරණයෙන් පිටත සිටි අනෙකුත් දෙමාපියන් සහ ආධාරකරුවන් දැඩි සතුටක් පළ කළ අතර, අමෙරිකානු අධිකරණවල විභාග වන මෙවැනි සමාන නඩු සිය ගණනකට මෙය දැවැන්ත පූර්වාදර්ශයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ළමයින්ට ලිංගික අතවර කරන්නන්ගෙන් සහ නුසුදුසු අන්තර්ගතයන්ගෙන් ආරක්ෂා වීමට අසමත් වීම පිළිබඳව නිව් මෙක්සිකෝ ජූරි සභාවක් විසින් මෙටා සමාගමට එරෙහිව තීන්දුවක් ලබා දී දිනකට පසුව මෙම ලොස් ඇන්ජලීස් තීන්දුව ප්‍රකාශයට පත් විය. මේ වන විට ඔස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය වැනි රටවල් ද අවුරුදු 16ට අඩු ළමයින්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමට හෝ තහනම් කිරීමට පියවර ගනිමින් සිටින පසුබිමක, මහජනතාව සහ සමාජ මාධ්‍ය සමාගම් අතර පවතින ගැටුම එහි උපරිම තත්ත්වයට පැමිණ ඇති බව ෆොරෙස්ටර් හි පර්යේෂණ අධ්‍යක්ෂ මයික් ප්‍රෝල්ක්ස් පෙන්වා දෙයි. මේ අතර කැලිෆෝනියා ෆෙඩරල් අධිකරණයේදී ද මෙටා ඇතුළු සමාජ මාධ්‍ය සමාගම්වලට එරෙහිව තවත් මෙවැනිම නඩුවක් එළඹෙන ජුනි මාසයේදී විභාගයට ගැනීමට නියමිතය.

