text-of-the-presidents-answers-to-journalists-questions-about-the-crisis

අද (17) අනුර කුමාර දිසානායක ජනපතිවරයා සමග මාධ්‍යවේදීන් පැවැත්වූ හමුවේදී නැගුණු ප්‍රශ්න හා ඒවාට ජනපතිවරයා ලබාදුන් පිළිතුරු සම්පූර්ණ text මෙසේය

නෙත් එෆ් එම් මාධ්‍යවේදී: ජනාධිපතිතුමනි, දැන් ඇත්තටම අපේ පෙර අත්දැකීම් එක්ක ජනතාව පොඩි ආතතියකින් ඉන්නවා කියන එක ඔබතුමාත් පිළිගත්තු කාරණයක්. මේ දවස්වල මේ බලශක්ති ප්‍රශ්නයත් එක්ක පැන නැගුණු ප්‍රධාන කාරණයක් තමයි බාල ගල්අඟුරු පිළිබඳ ප්‍රශ්නය. එතෙන්දි මතු කරන කාරණය, අර පෙර පරිදි ප්‍රමිතියෙන් යුතුව ගල්අඟුරු නැති හින්දා විදුලිබලය සුපුරුදු විදිහට නිපදවා ගන්න බැරි වෙලා, ඊට පස්සේ ඒ ඌනතාවය පියවන්න රටට නැව්වලින් එන තෙල් භාවිත කරලා විදුලිය නිපදවන්න වෙයිද කියන සැකය සහ ආතතිය සමාජය තුළ තියෙනවා.

ජනාධිපතිතුමා: විශේෂයෙන්ම මම ගොඩක් පැහැදිලි කරන්නේ නෑ, මේක ටිකක් දීර්ඝ ලෙස පැහැදිලි කරන්න ඕන එකක්. අපේ රටේ ගොඩක් සැපයුම්වල 'කාටල' (Cartels / ඒකාධිකාරී) හැදිලා තිබුණා. මතකද? රියදුරු බලපත්‍රය දෙන්න අවුරුදු ගණනාවක් එක් කෙනෙක්මයි හිටියේ. පාස්පෝට් එක දෙන්න අවුරුදු ගණනාවක් එක් කෙනෙක්මයි. ගල් අඟුරු සපයන්න අවුරුදු ගණනාවක් එක් කෙනෙක්මයි. සමහර බෙහෙත් වර්ග සපයන්න අවුරුදු ගණනාවක් එක් කෙනෙක්මයි. මෙම කාටල ඇතුළේ දේශපාලන මැදිහත්වීම් තිබුණා. නිලධාරීන් අතර මැදිහත්වීම් තිබුණා. කළු ව්‍යාපාර තිබුණා. අපි ආවේ කාටල දිගින් දිගටම පවත්වාගෙන යන්න නෙවෙයි. අපි ඒ කාටල බිඳිනවා. ගෑස් දීර්ඝ කාලයක් එක්කෙනෙක් අතේ තිබුණා. අපි ඒකත් බිඳිනවා.

බිඳින්නේ කොහොමද? සාධාරණව. හැම කෙනාටම ප්‍රවිෂ්ට වෙන්න පුළුවන් සාධාරණ ටෙන්ඩර් පටිපාටියක් අපි අනුගමනය කරනවා. මොකද අපි කරන්නේ? සමහර ටෙන්ඩර් හිටපු අයටම ගිහින් තියෙනවා, ඒකට කමක් නෑ. හැබැයි සාධාරණ ටෙන්ඩර් ක්‍රමයක් හරහා යන්න ඕනේ. එදා අපි ටෙන්ඩර් ක්‍රමයකින් තෝරා ගත්තා. ඔවුන් ටෙන්ඩරයට ඉදිරිපත් කර තිබුණු පිරිවිතරයන් සම්පූර්ණ කරලා තිබුණා. ඒ පිරිවිතරයන්ට අනුව ඒකට සුදුසුකම් ලබන සමාගමක් ඔවුන්. ඒ සමාගම තමයි අඩුම මිල ඉදිරිපත් කරලා තිබුණේ. ඒ නිසා ඒ සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කළා.

ටෙන්ඩරය ප්‍රදානය කළාට පස්සේ සමහර ගල් අඟුරු අපිට ලැබුණා. තමන් එවන ඒවා පරීක්ෂා කරන්න අපි ඉන්දියාවේ ලැබ් (Lab) එකක් තෝරගෙන තියෙනවා. ටෙන්ඩර් පටිපාටියට අනුව නැවට පටවන්න පෙර ලැබෙන වාර්තාවක් තියෙනවා. නැව ආවට පස්සෙත් අපි වාර්තාවක් ගන්නවා. මේ වාර්තා දෙකේම ඔවුන් පාස් වුණා. හැබැයි අපිට නොරොච්චෝලේ ගල් අඟුරු වලින්, අපේ ඉංජිනේරු මහත්වරුන්ගේ තාක්ෂණික දැනුම අනුව ඒ තරම් විදුලිය නිෂ්පාදනය වෙන්නෙ නෑ කියලා ප්‍රශ්නයක් ආවා. මෙතන තවත් ප්‍රශ්න තිබේ නම්, ඒක නිසි පරිදි මිලදී ගත්තු එකක්. මේක තමයි හෙටත් වෙන්නේ. හෙට ටෙන්ඩර් කැඳවලත් පිරිවිතරයන් සම්පූර්ණ කර තිබුණා නම් අපි තෝරාගන්නවා. මොකද ඒවා අපි ඊට පෙර සුදුසුකම් බලලා ලියාපදිංචි කරපු සමාගම්.

විදුලි බල අමාත්‍යාංශයට, ගල් අඟුරු සමාගමට ලබා දී තිබෙන ගල්අඟුරුවල ගැටළුවක් මතුවෙලා තිබෙනවා නම් ඒක පියවා ගැනීම සඳහා ක්‍රමවේදයක් තියෙනවා. ඒ බාල ගල්අඟුරු නම් එන්නෙ, ඒ ගල් අඟුරු වලින් නිෂ්පාදනය කරන විදුලිය අඩුයි නම් සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයට අනුව ඒකට දඩ මුදලක් අය කරනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ ගල් අඟුරු තොගයට සියයට දහයක තැන්පතුවක්, ඒ කියන්නේ ඩොලර් මිලියන පහළොවක් තියෙන තැන්පතුවක් තියෙනවා. ඒ වගේම අපේ ලැබ් එකෙන් වාර්තාව ආවට පස්සේ තමයි, නැව ලංකාවට එනකොට අපි සියයට අසූවක් මුදල් ගෙවන්නේ. ඉතුරු සියයට විස්ස නිදහස් කරන්නේ අපි ලැබ් වාර්තා ආවට පස්සේ විතරයි. එසේ මුදල් තබාගෙන තියෙන නිසා මූල්‍යමය ලෙස පාඩුවක් වීම ඉතාමත් අඩුයි මම හිතන්නේ. ඒ යම් ගල්අඟුරු ප්‍රමාණයකින් නිකුත්වන අළු ප්‍රමාණය වැඩි නම් ඒකත් ගණනය කරලා තමයි වන්දි තීරණය කර තිබෙන්නේ.

ගල්අඟුරු වලින් බලශක්ති අර්බුදයක් මතු වෙනවා නම් අපි ක්ෂණික මිලදී ගැනීම් සඳහා ටෙන්ඩර් කෝල් කරා. එකක් ඊයේ කැබිනට් මණ්ඩලයට ආවා. ඒ නැව් පහ මිලදී ගැනීම සඳහා අපි අවසර ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවත් ක්ෂණික මිලදී ගැනීමේ ප්‍රසම්පාදන කමිටුව හරහාත් නැවත ගල් අඟුරු සඳහා ඇණවුම් කිහිපයක් ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවල දී අපි ගල් අඟුරුත් ඇතුළත් කරලා තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ බලශක්ති අර්බුදයක් මතු වීම සඳහා ගල් අඟුරු වල බලපෑමක් ඇති නොවන ආකාරයට කටයුතු කරමින් තිබෙනවා. නමුත් ගල් අඟුරුවල ප්‍රමිතියේ ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා නම් අපි ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.

මම හිතුවා මේක තමයි ඕනෑම තැනක වෙන්නේ කියලා. ඔබට මතක ඇති ගෑස්. ලිට්‍රෝ ගෑස් වල අරමුණ වුණේ අපි අඩුම එකක් දුන්නා. හැබැයි පරණ අය රණ්ඩු වෙන්න පටන් ගත්තා. ඇත්තටම මොකක් හරි හේතුවකට අඩුම කෙනා වුණු කෙනා තමයි එයාගෙන් සියයට අසූ එකක් සපයන්නේ; ඇමෙරිකන් එක්සත් ජනපදයේ සමාගමක්. ඒ නිසා තමයි අපිට ගෑස් ප්‍රශ්නයක් මතු නොවී පරණ කෙනා ඕමාන් වලින් ආවේ. එතුමාට අපිට තරග කරන්න පුළුවන්. පරණ කෙනාට දුන්නද? නෑ. අපි ගෑස් අඩු මිලට අලුත් කෙනාට ලබා දීමෙන් අපට ගෑස් සැපයුම අඛණ්ඩව ලබා දෙනවා.

අද ගෑස්වල අර්බුදයක් මතු වී තිබෙන්නේ අපේ ලිට්‍රෝ සමාගමේ අර්බුදයක් නිසා නෙවේ. අපේ මාකට් එකෙන් සියයට විස්සක් පෞද්ගලික සමාගමක් හොබවනු ලබනවා. ඒ පෞද්ගලික සමාගම තමන්ගේ ගෑස් සැපයීමට අසමත් වී තිබෙනවා. ඒ නිසා මොකද වී තිබෙන්නේ, අපේ සමාගමට ඉල්ලුම වැඩි වෙලා. ඔබ නොදන්නවාට අපේ රටේ ප්‍රධාන හෝටල්, සංචාරක කර්මාන්තයේ ආයතන විශාල ප්‍රමාණයක් මේ පෞද්ගලික සමාගමෙන් ගෑස් මිලදී අරන් තිබුණේ, නිවාස වලට වඩා. මොකද සාමාන්‍යයෙන් ගත්තොත් එවැනි තොග විකුණන එක ලාබයි. පෞද්ගලික සමාගම වැඩිපුර ගිවිසුම් අත්සන් කර තිබුණේ තොගවලට. අපි සියයට අසූවක් තමයි අපි සපයන්නේ. ඒ නිසා තමයි මම කිව්වේ අපි මාර්තු මාසයේ අපේ අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 33,000 යි, පැවති තත්ත්වය මත අපි ටොන් 38,000 ක් ඇණවුම් කරලා තියෙන්නේ. ඒ නිසා එතන ප්‍රශ්න මතු වෙලා තියෙනවා.

මම මේ ඔක්කොම කිව්වේ, කාලයක් තිස්සේ හැදිච්චි කාටල බිඳිනවා නම්, අපි යම් යම් ගැටලු විඳින්න ඕන. දේශපාලනය, කළු ව්‍යාපාර, රාජ්‍ය නිලධාරීන් එකතු වෙලා තමයි මේ කාටල හදන් තිබුණේ. අපි සාධාරණ ටෙන්ඩරයේදී තෝරා ගන්නවා. අර කාටල බිඳගෙන එනකොට, කාලාන්තරයක් තිස්සේ වැඩ කරපු අයගෙන් අලුත් කෙනෙකුට යද්දි චූටි චූටි ගැටලු මතුවිය හැකියි. ඇයි අපි විවෘතව යන්න ඕන කියන්නේ? කාටත් සාධාරණව ප්‍රදානය කරමින් යන්න ඕනේ.




මාධ්‍යවේදී අජිත් මාතරගේ: ජනාධිපතිතුමනි, දැන් මේ වෙනකොට ලෝකේ ඛනිජ තෙල් මිල ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. කාම්බෝජය සියයට හැට අටක් වැඩිකරලා තියෙනවා, කැනඩාව සියයට විසි අටක්, අපේ රට සියයට අටක් පමණ තමයි වැඩි කරලා තියෙන්නේ. දැන් මේ තත්ත්වය ඉස්සරහට තවත් වැඩි වෙයිද? ලෝකයේ ප්‍රවණතාව වැඩි වන තත්ත්වයක් තමයි තියෙන්නේ. ජනතාව පීඩනයට පත් වෙයි. එම පීඩනයට පත් වුණොත්, හදිසියේ හරි අසීමිතව තෙල් මිල වැඩි වෙලා, බදු බර අඩු කරලා හරි, විශේෂයෙන්ම තෙල් මත පනවන බදු ප්‍රමාණය අඩු කරලා හරි ඒ සහනය ජනතාවට දෙන්න බලාපොරොත්තුවක් තිබෙනවාද?

ජනාධිපතිතුමා: ඇත්තටම තෙල් සඳහා තියෙන්නේ බද්දක් තමයි. හැබැයි බද්දේ අපේක්ෂාව මොකක්ද? තෙල් සංස්ථාව ණය තිබුණා රුපියල් බිලියන අටසීය අසූ හතරක්, ඒ කියන්නේ කෝටි 88,000 ක්. දැන් ඒක කෝටි අනූදාහක් පමණ වෙනවා. තෙල් සංස්ථාවේ ණය බර කෝටි අනූ දාහයි. රාජ්‍ය පාලනය කරපු කණ්ඩායම් දීර්ඝ කාලයක් රට පාලනය කළත් තෙල් සංස්ථාවේ ණය කෝටි අනූ දාහයි. ඒ මුළු කෝටි අනූ දාහම භාණ්ඩාගාරය භාරගත්තා අපි. දැන් තෙල් සංස්ථාවට සතයක් නෑනේ. අපි මොකද කරලා තිබෙන්නේ? ඒ භාණ්ඩාගාරය බාරගත්තු කෝටි අනූදාහකට වාර්ෂික පොලියක් තියෙනවා. හිතන්න, මොකද වෙන්නේ? බිලියන සියයක් විතර වාර්ෂිකව, ඒ කියන්නේ කෝටි දහදාහක් විතර වාර්ෂික පොලී විතරයි. එතකොට ඒක භාණ්ඩාගාරයට අතිරේක බරක්. අපි මොකද කරේ? තෙල්වලට යම් බද්දක් පැනෙව්වා මේ ණය පියවා ගැනීම සඳහා. ඒක හොඳින් තේරුම් ගන්න ඕනා. මම දැක්කා එළියේ තර්ක කරන අය, ඒ අය තේරුම් ගන්න ඕනා කෝටි 90,000 ක ණය බරක් අරන් තියෙනවා. සාමාන්‍ය පොලිය හිතුවත් කෝටි දහදාහක් විතර වෙනවා. ඒක භාන්ඩාගාරයට අතිරේක බරක්. ඒ නිසා අපි තෙල්වලට බද්දක් අදාළව එකතු කරනවා.

ඔබ හිතන්න මේක කොච්චර කාලයක් යාවිද දන්නෙ නෑ. හැබැයි අපි දන්නවා, ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම නිසා අපි පහුගියදා තෙල් මිල ඉහළ දැම්මා. ඒ තෙල් මිල ඉහළ දාන්න හේතු දෙකක් තිබුණා. එකක් තමයි අපිට පරිහරණය අඩුකරගන්න ඕනකම තිබුණා. දෙක, තෙල් මිල ඉහළ යාමක් එකපාර විශාල ප්‍රමාණයකින් ගියොත් ආර්ථිකයට බලපෑමක් ඇතිවෙන නිසා ඒක සමනය කරගන්න ඕන කම තිබුණා. ඒ වගේම මාර්තු මාසයේ තෙල් මිල ඉහළයාමෙන් සංස්ථාවට ලාභයක් තියෙනවා කියලා අපි දැක්කා. හැබැයි ඊළඟට අපි නියමිත වැඩිකිරීමේදී, අපේ මිල ගැළපීමේදී, අපි මේ මාර්තු මාසයේ ලබාගත්තු ලාභයක් ගණනය කරනවා. ඊට පස්සෙත් ලෝක වෙළඳ පොලේ තෙල් මිල වැඩි වෙලාද, අඩු වෙලාද කියලා බලනවා. ඒකත් ගණනය කරලා අපි ඒ ගණනය කිරීම් අනුව අපිට උත්තර දෙකක් ලැබෙන්න පුළුවන්: තෙල් මිල වැඩිවීම හෝ අඩුවීම. යථාර්ථය මොකක්ද? ලෝකය දන්නවා දෙකම ලැබෙන්න පුළුවන් කියලා.

එතකොට අපි බලනවා, ඒ මිල වැඩිවීම, ඒ තෙල් හරහා ගොඩනැගෙන ආර්ථික බලපෑමක් ඇති කරනවා නම්, අපි බද්දේ යම් ප්‍රතිශතයක් අයින් කරනවා. එතකොට අපි මේ මාර්තු මාසයේ වැඩිවීමේ ලාභයයි, බදු ප්‍රතිශතය අඩු කිරීමයි හරහා අපිට වැඩි කිරීමක් සිද්ධ වුණොත් වැඩිකිරීම අවම කර ගන්න පුළුවන්. ඒක තමා අපේ උපාය මාර්ගය. එහෙම නැතුව අර මාර්තු මාසයේ පරණ විදිහටම ගිහිල්ලා ඊළඟ වාරයේ විශාල වැඩිවීමක් ලබනවාට වඩා, අපිට පාලනය කිරීමේ ඕනකම තිබුණා. අන්න ඒ පාලනය තමයි කරලා තියෙන්නේ. ඉතින් අපි ඉතා හොඳින් මැනලා කල්පනා කරනවා.

අපි දැනටමත් මුදල් අමාත්‍යාංශය එක්ක සාකච්ඡා කර තිබෙනවා, මොකද ඒ බද්ද අඩුකිරීම මගින් අපිට බද්දෙන් කොච්චර ප්‍රමාණයක් අහිමි වෙනවද? ඒ වගේම තෙල් මිල විශාල ලෙස අධික වීම හරහා ආර්ථික හැකිළීමක් ඇතිවී බද්ද කොච්චර ප්‍රමාණයක් අහිමි වෙනවද කියලා. අපිට පුළුවන් බද්ද තියාගෙන තෙල් මිල විශාල ලෙස වැඩි කරන්න. හැබැයි මොකක්ද වෙන්නේ? ආර්ථිකය හැකිළිලා ආර්ථිකයෙන් අපට ලැබෙන බදු ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් ආර්ථිකයෙන් අපට ලැබෙන බදු ප්‍රමාණය ආරක්ෂා කර ගනිමින් තෙල් මිලේ තියෙන බදු ප්‍රමාණයක් අඩු කරන්නේ කොහොමද? ඒක අපට හොඳ මධ්‍යස්ථ තැනක් විදිහට තෝරාගන්න පුළුවන් වේවි. ඒ අනුව අපි තෙල්වල බද්ද යම් ප්‍රමාණයක් අඩු කරන්න බලාපොරොත්තු වෙනවා.

මාධ්‍යවේදී: ඊළඟ ප්‍රශ්නය යොමු වෙන්නේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳවයි. දැන් කාරණා හතරක් නිසා මම හිතනවා අපි අර්බුදයකට මුහුණ දෙනවා කියලා. ඉරානය අපේ ප්‍රධාන සැපයුම්කරුවෙකු වෙලා හිටියා. එතැන අර්බුදයක් තියෙනවා. දෙවැනි එක රක්ෂණ ගාස්තු මේ වනවිට සියයට දාහකින් විතර වැඩිවෙලා තියෙනවා; එකයි දශම පහේ ඉඳලා එකසිය දහය දක්වා. අනෙක් පැත්තට අපිට සපයන සැපයුම්කරුවන් අර අපි වගේම සුරක්ෂිතතාව වෙනුවෙන් තොග රැස් කළොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟ එක තමයි පොහොර මිල. ගෙදර දොරකඩින් ඇතුළු අනෙකුත් පොහොර වර්ග සැපයීම සම්බන්ධ ප්‍රශ්න ඊළඟ කන්නවලදී බලපාන විදිය. මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් මොනවද රජයේ සූදානම?




ජනාධිපතිතුමා: අපි අපේ කෘෂිකර්ම අමාත්‍යතුමාත් ලේකම්තුමාත් පොහොර සමාගම් මුණගැහුණා. අපිට යල කන්නය සඳහා අවශ්‍ය පොහොර සංචිත ලංකාව තුළ තිබෙනවා. යම් මිල වැඩි කිරීමක් පිළිබඳ ඉල්ලා සිටීමක් ඔවුන් විසින් කරා. නමුත් ඔවුන් එකඟතාවකට ආවා මෙට්‍රික් ටොන් එකක්, යූරියා මිටියක් රුපියල් නවදහස් පන්සියයකට නිකුත් කරන්න. දැනට රජයේ පොහොර සංස්ථාව නිකුත් කරන්නේ රුපියල් නවදහස් දෙසීයට. එය අපට රජයේ තියෙනවා, ගොවිජන සේවා මධ්‍යස්ථානවල. රජයේ පොහොර ටිකත් ගොවිජන සේවා මධ්‍යස්ථානවලට ගියපුවහම, පෞද්ගලික අංශයේ පොහොරත් නවදාස් පන්සීයට ගොවිජන සේවා මධ්‍යස්ථානවලට ගියපුවාම, අපිට ගොවිජන මධ්‍යස්ථාන හරහා ලාභයක් නැතුව දෙන්න පුළුවන්. පෞද්ගලික අංශයට ගියොත් ඔවුන් තවත් පොහොර මිටියට රුපියල් 500 ක මුදලක් එකතු කරනවා. ඔවුන් ඒකට ආයෝජනය කරනවා, ඒකට සාධාරණ ලාභයක් ඔවුන් අපේක්ෂා කරනවා. ඒ නිසා අපේ අපේක්ෂාව තියෙන්නේ, විශේෂයෙන් පොහොර බෙදාහැරීමට අපිට ගොවිජන සේවා මධ්‍යස්ථාන ජාලය තියෙනවා, පන්සිය පනහකට ආසන්න ගොවිජන සේවා මධ්‍යස්ථාන තියෙනවා. එකක් තමයි ගොවීන්ට ඉතාමත් සමීප මධ්‍යස්ථාන ඒවා. ඒ නිසා ගොවිජන මධ්‍යස්ථාන හරහා ආණ්ඩුවේ රජයේ පොහොර නවදහස් දෙසීයටත්, පෞද්ගලික පොහොර නවදාස් පන්සීයටත් දෙන්න එකඟ වෙලා තිබෙනවා. ඒ අනුව අපිට පොහොර බෙදා ගන්න පුළුවන්කම තියෙනවා.

ඊළඟ දෙවැනි එක, තොග රැස්කිරීමක් ගැන කලින් කතා කරා. සමහර දේවල්, විශේෂයෙන් පිටි වගේ ඒවා ගත්තොත් මාස තුනකට ගබඩා කරගන්න පුළුවන් නිසා අපි පිටි සමාගම් එක්ක සාකච්ඡා කරා. මාස තුනකට එහා පැත්තෙන් ගබඩා කරපු තොග ප්‍රමාණයක් ඔවුන් සතුව තිබෙනවා. ඊළඟ විශේෂයෙන්ම ගත්තොත් මුං ඇට, ධාන්‍ය වර්ග සමහරක් මාස තුනකට ගබඩා කරගන්නවා ධාන්‍ය වලින් ආහාර නිෂ්පාදනය කරන සමාගම්. ඒ ආහාර නිෂ්පාදනය කරන, ධාන්‍ය අඹරන සමාගම්වලට අවශ්‍ය තොග තිබෙන බව දැනුම් දුන්නා. හැබැයි සාමාන්‍ය පාරිභෝජන අවශ්‍යතා වෙනුවෙන් ගේන ඒවා ඒ වගේ මාස තුනකට ඇතුළට ගබඩා කරගන්නේ නෑ. සාමාන්‍ය පරිභෝජනයට අවශ්‍ය ධාන්‍ය වර්ග එහෙම ගබඩා කරගැනීම තොග වෙළෙන්දන්ට පාඩුයි. ඔවුන් සති දෙකෙන් දෙකට තමයි ගේන්නේ. අපි ඔවුන්වත් කැඳවලා සාකච්ඡා කර තිබෙන නිසා ඔවුන් සහ අපි අතර සාකච්ඡාවල එකඟතාවයක් තියෙනවා. අපිට පුළුවන්කම තියෙනවා ඒ ඒ ආහාර සපයා ගැනීම සඳහා කටයුතු කරන්න.

ඒ වගේම ඊළඟ ප්‍රධාන ජාලය ගත්තොත් අපේ බෙදා හැරීමේ ජාලය. පිටකොටුවට එන භාණ්ඩ බෙදාහැරීම සඳහා අවශ්‍ය බෙදාහැරීම් සමාගම් වෙනුවෙන් පෙනී සිටින එකම පිරිස එක්ක කතා කරලා ඔවුන්ට අවශ්‍ය ඉන්ධන සහනාධාර ලබාදෙන්න අපි අපේක්ෂා කරනවා. ඒ නිසා මම හිතන්නේ ආහාර බෙදා හැරීම ඉතාමත් සුරක්ෂිතයි. අපි මීට කලින් කිව්වා වගේ අපි සමහර ක්ෂේත්‍ර වලට බෆර් එකක් (Buffer) තියාගන්න කියලා තියෙනවා. එකක් ආහාර, අනිත් එක සෞඛ්‍ය ක්ෂේත්‍රය. සෞඛ්‍ය අංශය අඩුම තරමේ ඉදිරියට සති තුනකටවත්, සති හයකටවත් තොගයක් තියාගන්න ඕනා. ආහාරත් අපි එහෙම සැලසුම් කර තිබෙනවා.

මූලික වශයෙන් ගත්තොත් මේ කරුණු කිහිපය තමයි ඔබතුමාලට කියන්න තිබුණේ. මම අවධාරණය කරන්නේ මෙච්චරයි: අපිට ප්‍රශ්න එනවා. සමහර ප්‍රශ්න අපි විසින්ම හදාගන්න ප්‍රශ්න. අපේ ආණ්ඩු බොහෝ දුරට ආණ්ඩු විසින්ම හදාගන්නා ප්‍රශ්න අවම කරලා තියෙනවා. සමහර ප්‍රශ්න ස්වභාවික ප්‍රශ්න. ඒවා තමයි නියඟය වගේ දේවල්. ඒ වගේම අභ්‍යන්තරව පමණක් බලපාන ප්‍රශ්න අපි කළමනාකරණය කර තිබෙනවා. සමහර ප්‍රශ්න බාහිර ප්‍රශ්න. අපි පරිබාහිරව ඉතින් ඒවාට කොච්චර පාලනය කරන්න පුලුවන්ද, කොච්චර ඒවා නවත්තන්න පුළුවන්ද කියලා බැලුවොත්, අපිට එහෙම බලපෑමක් කරන්න බැරි තැනකයි අපි ඉන්නේ. එනිසා අපි එවැනි බාහිර කම්පන කළමනාකරණය කර ගැනීම සඳහා තමයි රජයක් විදිහට ඉන්නේ. ඒ කළමනාකරණය සඳහා ඉතාමත් විධිමත් සංවිධිත වැඩපිළිවෙළක් හදලා තියෙනවා. ඒ නිසා මම ඇත්තටම අපේ මාධ්‍ය මිතුරන්ගෙන් හා මාධ්‍ය ආයතන හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටින්න කැමතියි, මේ වෙලාවේ සමාජයට මේ සඳහා අවශ්‍ය මඟපෙන්වීම කරන්න. මේ සඳහා විසඳුමක් යෝජනා කරන එක වඩාත් යෝග්‍යයි. අවසන් වශයෙන් ජනතාවට කියනවා මේ ප්‍රශ්න විසඳා ගත හැකියි, ඔබ ඔබගේ පැත්තෙන් ඉටුකළ යුතු කාර්යය ඉටුකරන්න කියන ආරාධනය තමයි මට ජනතාවට කරන්න තියෙන්නෙ. බොහොම ස්තූතියි හැමදෙනාටම.

මාධ්‍යවේදී: ජනාධිපතිතුමා, එම නැව එන්න වරායේ ඉඩප්‍රස්ථාව හැදෙන්න ඕන. ඊට පස්සේ මේ ගබඩා හිස් වෙලා තියෙන්න ඕන. ඊට පස්සේ ගබඩාවලින් බෙදා හැරලා තියෙන්න ඕන. මේ පද්ධති කළමනාකරනය ගැන අපිට බෑ අද නැව් දහයක් එකවර ගෙනැල්ලා තියා ගන්න.

ජනාධිපතිතුමා: ඒ අනුව තමයි අපි කාලසටහන් හදල තියෙන්නේ. නැව් ෆේස් (Phase) කරලා තියෙනවා. ඒ කාලසටහන් කරලා තියෙන්නේ මේ තියෙන යාන්ත්‍රණයට අනුව. CPC එකෙන් කොච්චරද, සයිනොපෙක් එකෙන් කවදද, IOC එකෙන් කවදද, නැව් කවද්ද එන්නේ කියලා අපි Phase කරලා තියෙන්නේ. එතකොට ඒවත් එක්ක අපේ ටෙන්ඩර් බැඳීමක් තියෙනවා. එතකොට අපි බලන්න ඕන කොතැනද ඒවා හිස් වෙන්නේ කියලා. අපි කලින් ටෙන්ඩර් දැම්මට වැඩක් නෑ. ටෙන්ඩර් දානකොට අපි කියනවා අපිට මේ මේ දින කිහිපයට මේක එවන්න කියලා. නමුත් අපි බලන්න ඕනේ අතරමග ගබඩා හිස් වෙනවද කියලා. එතන හිස් වෙනවා නම් විතරයි අපිට ඒ නැවක් ලෝඩ් කරන්න පුළුවන්. ඒ නිසා තමයි විධිමත් යාන්ත්‍රණයක් අවශ්‍ය වෙන්නේ. අන්න ඒ හිස්වන ස්ථාන පිරවීම සඳහා අවශ්‍ය ටෙන්ඩර් ක්‍රියාවලිය තමයි අපි අනුගමනය කරන්නේ.

මාධ්‍යවේදී: නමුත් ඒ අතරතුර, විදේශ අමාත්‍යවරයා සෘජුවම රුසියානු තානාපතිවරයා සමඟ සාකච්ඡා කරනවා අපි දැක්කා. ඒකේ යාවත්කාලීන තොරතුරක් අපි දැක්කේ නෑ. මොකද රුසියාව පැත්තෙන් කිව්වේ? සැකයක් තිබුණා මේ ටෙන්ඩර් ක්‍රියාවලියට යන්න කල් වැඩි වෙන්න පුළුවන් කියලා.

ජනාධිපතිතුමා: ඔබ දන්නවා ජාත්‍යන්තර වශයෙන් අපි විවෘත විය යුතුයි. රුසියාවත් එක්ක අපිට සම්බාධක ප්‍රශ්නයක් තිබුණා. අපි රාජ්‍යයන් එක්ක ගනුදෙනු කරන්නේ. රුසියානු රාජ්‍යය එක්ක අපි එකඟතාවකට එනවා. හැබැයි ඒකට අපිට සම්බාධක පවතිනවා. එතකොට අපේ රාජ්‍යය හා ඒ රාජ්‍යය අතර ගනුදෙනු මොන ආකාරයෙන්ද වෙන්නේ කියන එක බලපෑමට ලක් වෙනවා. එනිසා අපි පළමු කොටම රුසියාවෙන් ඉන්ධන, ගෑස්, ගල් අඟුරු සපයා ගැනීම සඳහා ඉඩ ප්‍රස්ථාව හදාගන්න ඕන. ඉඩ ප්‍රස්ථාව හදාගෙන තමයි අපි ඒ රාජ්‍යයන් එක්ක සාකච්ඡා කරන්න ඕන. ඉඩ ප්‍රස්ථාව නැතුව අපි කොහොමද ගිවිසුමකට යන්නෙ? මේ ඔබයි මමයි අතර ගිවිසුමක් නෙවෙයි, රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්. අපි ඔවුන් සමඟ යම් බලශක්ති සැපයුම් එකඟතාවකට එනවා නම් අපි සමත් වෙන්න ඕන අපේ පාර්ශ්වය ඉටු කරන්න. ඒ සඳහා වැඩි කාලයක් අවශ්‍යයි.

ඒ නිසා තමයි මම කියන්නේ අර නිකං අපි මතුපිටින් දැක්කොත් මේක ප්‍රමාදයි වගේ කියලා පේන්නේ. මම දැක්කා ගොඩක් අය කියනවා මේක ප්‍රමාදයි, යුවාන් වලින් ගනුදෙනු කරන්නේ, රූබල් වලින් ගනුදෙනු කරන්න වෙයි, ඇයි වහාම ගෙනාවේ නැත්තේ කියලා. රුසියාව එක්ක කතා කරලා තියෙන්නේ, හැබැයි රුසියාව සහ අපි අතර එකඟතාවකට එනවා නම් අපි බැඳෙනවා මුදල් ගෙවන්න. මුදල් ගෙවන්න බැරි නම් අපි ඒ බැඳීම් ඉටු කරන්න පුළුවන් පරිසරයක් යොදාගන්නවා. එහෙම තමා අපි ඒ සඳහා කටයුතු කරලා තිබෙන්නේ. ඒ නිසා මම හිතන්නේ, අපි මේ හැම දෙයක් පිළිබඳවම, ඒ ඒ තීන්දු ගැනීමට පෙර අවශ්‍ය සියල්ල සලකා බලමින් තමයි තීන්දු කරමින් තිබෙන්නේ. ඒ අවශ්‍ය සාධාරණ කාලය අනුව තමයි මේ තීන්දුව ක්‍රියාත්මක වෙන්නේ.



මාධ්‍යවේදී: ජනාධිපතිතුමනි, දැන් ගොඩක් වෙලාවට අපි දකින කාරණයක් තමයි ඕනෑම රටක යම් දේශපාලන, ආර්ථික සහ සමාජීය බිඳවැටීමක් සිද්ධ වෙන්න පුළුවන්. මීට පෙර තිබුණු අත්දැකීමත් එක්ක ගන්නකොට, 2022 දී කොවිඩ් වසංගතයෙන් පස්සේ අර්බුදයක් ආවා. එතනින් පස්සේ අපේ රටේ සිද්ධ වෙන්නේ ආර්ථිකය බිඳ වැටිලා, සමාජ ප්‍රශ්න මතුවෙලා, දේශපාලනික ගැටලුවක් මතුවෙලා, එතැනදී පාලකයාට ජනතාව පන්නලා දානවා. එතකොට එවැනි දේශපාලන අස්ථාවරත්වයක් රට තුළ නිර්මාණය වෙනවා. වර්තමානයේදී මේ ඇවිල්ලා තියෙන්නෙත් මේ යුදමය තත්ත්වයත් එක්ක අර්බුදයක්. එතකොට මීට කලින් තිබුණු තත්ත්වයේදී අරගලයකින් ජනතාවගේ පීඩනය පිට කළා. වර්තමානයේදීත් මේ විදියට පීඩනය වැඩි උනොත් ජනතාව අරගලයක් කරන්න පුළුවන්. ඒකට සූදානම්ද? මේ විදියට බිඳවැටෙන්නේ නැතිව රට පවත්වාගෙන යන්න පුළුවන් කියලා ඔබතුමා විශ්වාස කරනවාද?

ජනාධිපතිතුමා: ඒ සංසන්දනය වැරදියි. ලෝකෙ පුරාම කොවිඩ් ගියාට, ලෝකෙ පුරාම තෙල් පෝලිම් තිබුණේ නෑ. හැබැයි අද මුහුණ දී තිබෙන මේ යුද්ධයේ බලපෑම ලෝකේ පුරාවටම තියෙනවා. ශක්තිමත් රාජ්‍යයන් තුළ පවා මේ ඉන්ධන මිල වැඩිවීම ඇවිල්ලා තියෙනවා. ගොඩක් අය අතීතය විවේචනය කරන්න හෝ අතීතය හාරා අවුස්සන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අපි මේක හරියට තේරුම් ගත යුතුයි කියලා මම හිතනවා. සමහර දේශපාලන බලවේග ඉන්න පුළුවන් මේකත් එක් අවස්ථාවක් කරගන්න පුළුවන්ද කියලා බලන. කමක් නෑ. දේශපාලනයේ ඉතාමත් නපුරු හීනයක් දකිමින් දේශපාලන ව්‍යායාමය සාර්ථක කරගන්න පුළුවන් නම් ඒකට කෑ ගැහුවට කමක් නෑ. හැබැයි ඒ නපුරු හීනය යථාර්ථයක් වෙන්නෙ නෑ. මිනිස්සු 2022 දී නැගිට්ටේ තෙල් නැති හින්දා විතරක්ද? එදා තිබුණු සටන් පාඨ බලන්න. "හැම කෙනාම විගණනයට ලක් විය යුතුයි" කියන එක ඒ සටන් පාඨවල ගැබ්ව තිබුණා. තෙල් පෝලිම් පස්සෙ තිබූ සටන් පාඨ මොනවාද? "මේ ආදී වරප්‍රසාද සහිත දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුයි" කියන එක. තෙල් අර්බුදය සටන්පාඨයක් වුණා. තෙල් තමයි, බලශක්තිය තමයි අර්බුදයට මඟ පෑදුවේ. හැබැයි අර්බුදයේ සටන්පාඨ බවට පත්වූයේ බලශක්තිය පමණක් නොවේ. එදා දැවැන්ත දේශපාලන සටන් පාඨ තිබුණා. මම හිතන්නෙ එදා අරගලයේ තිබුණු දේශපාලන සටන් පාඨ අපි නියෝජනය කරපු අය. යළි එවැනි දේශපාලන සටන් පාඨ ලංකාවේ පැල වෙන්නෙ නෑ.

ආර්ථික සටන්පාඨ ඒවි. මේ අර්බුදත් එක්ක ආර්ථිකයේ ඇතිවන අර්බුදය සමනය කරගැනීම සඳහා අපි වැඩසටහන ඉදිරිපත් කරලා තියෙනවා. ඒක අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා කරන්න පුළුවන් කියලා. මොකද මේක ජාත්‍යන්තර පරිමාණයේ ගැටුමක්. අපිට අපේ පාලනය කිරීමේ සීමාකම් තියෙන එකත් ඇත්ත. හැබැයි අපේ අපේක්ෂාව මොකක්ද? අපේ ආර්ථික සහ සමාජ ජීවිතය අඩාල නොවෙන ආකාරයෙන් මේක කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එකයි. ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙනවා. මම හිතනවා දැනට අපිට විශාල විශ්වාසයක් තිබෙනවා, මේ වැඩසටහන අපේ ජනතාව තුළ අවිශ්වාසය මඟහරවා ගන්නත්, අපේ ආර්ථිකයට බලපාන මහා බලපෑම් අවම කර ගන්නත් හේතු වේවි කියලා.


හිරු මාධ්‍යවේදී: ජනාධිපතිතුමා, මේ ගල් අඟුරු සම්බන්ධයෙන් ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙන්නේ ඔබතුමාගේ ඇමැතිවරයෙකුට. ඔහුට දැනටමත් මහාධිකරණ හමුවේ නඩු පවරලා තියෙනවා වෙනත් සිද්ධියකට. ඉතින් ඔබතුමා, විපක්ෂය චෝදනා කර කර ඉද්දි ඇයි මේ සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් සිද්ධ නොකරන්නේ?

ජනාධිපතිතුමා: විශේෂයෙන්ම අපේ කවුරු අමාත්‍යවරයෙක් හරි, අමාත්‍යවරයාගේ බලතල, අමාත්‍යවරයාගේ විෂය පථය උපයෝගී කරගෙන වංචාවක් කරනවා නම්, කොතැනක හෝ අධිකරණයේ නඩුවක් පැවරෙනවා නම් පහුවදාම අපි ඉවත් කරනවා. අදාළ ඇමතිවරයා පිළිබඳව මතු වෙලා තියෙන ප්‍රශ්නය 2014 රාජ්‍ය නිලධාරියෙක් ලෙස ඉන්න කොට ප්‍රසම්පාදනයේ ඇතිවුණු ගැටලුවක්. මා ඒ උසාවි නඩුවක් නිසා පැහැදිලි කරන්න යන්නේ නෑ මේක උසාවියේ තියෙනවා. හැබැයි අමාත්‍යවරයෙක් හැටියට අධි චෝදනා ලැබ අධිකරණයට ගොනු කළොත් මේ අමාත්‍යවරුන්ව අපි අයින් කරනවා. ඒ ලෙසම ගල් අඟුරු පිළිබඳවත් විභාගයක් කරන්න පුළුවන්. මම හිතන්නේ එය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලා තිබුණා හොඳම පරීක්ෂණයක් කරන්න පුළුවන්. ඒකට පක්ෂපාතී කියලා කියන්න පුළුවන්. මා දැනටමත් දන්නවා කවුරුත් අල්ලස් කොමිසමට ගියා කියලා පරීක්ෂණ කරන්න. කිසිසේත්ම ජනාධිපති ලේකම් කාර්යාලය නෙවෙයි මේවා කරන්නේ. මීට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ කමිටුවක් හදලා වාර්තාවක් හදාගෙන ශුද්ධ කරන චිත්‍රයක් තිබුණා. මං ඒකට එන්නෙ නෑ. ඒ බලය තිබෙන ආයතනයක් තිබෙනවා. ඒ ආයතන විධිමත් පරීක්ෂණ කරයි. මා සතුව ඇති තොරතුරු සහ මා සමීපව අධ්‍යනය කිරීම හරහා මා දන්නවා එතැන වංචාවක් සිදුවී නැහැ කියලා. නමුත් පාර්ලිමේන්තුවට පුළුවන්, COPE (කෝප්) කමිටුවට පුළුවන්, අල්ලස් හෝ දූෂණ කොමිසමට පුළුවන් මේ ගැන පරීක්ෂා කරන්න. ඒ පරීක්ෂා කිරීම් හරහා යම් දූෂණයක් හෝ වංචාවක් පිළිබඳ චෝදනා එල්ල වෙනවා නම් අපි ක්‍රියාමාර්ග ගන්නවා.

මාධ්‍යවේදී: ජනාධිපතිතුමා, දැන් මේ විදුලි කප්පාදුව සම්බන්ධව විශාල සාකච්ඡාවක් නිර්මාණය වෙලා තියෙනවා. රජය විදිහට මොකද්ද මේ වෙනකොට නවතම තත්ත්වය? දැනට විදුලිය කපන්න අවශ්‍යතාවක් පැන නැගිලා තියෙනවාද?

ජනාධිපතිතුමා: මම මේක පැහැදිලි කරන්නම්. දැනට අපි ඉදිරිපත් කරපු සැලසුම තියෙනවා, ඒ සැලසුමට අනුව විදුලි කප්පාදුවක් නෑ. නමුත් මේ යුද්ධයේ සීමා මායිම් ඔබට හෝ මට හෝ කාටවත් තීරණය කරන්න බෑ. සමහරවිට මේ යුද්ධයේ ප්‍රධාන පාර්ශවයන්ට වත් මේ යුද්ධයේ සීමා මායිම් තීරණය කරන්න බැහැ. එනිසා දැනට අපි සකස් කරගෙන තියෙන වැඩපිළිවෙල තුළ විදුලි කප්පාදුවක් නෑ. නමුත් එතැනින් එහා තීරණය කරන්නේ යුද්ධයේ සීමා මායිම් කොච්චර ප්‍රමාණයකට වර්ධනය වෙයිද කියන සාධකය මතයි.

ඒ වගේම පාරිභෝගික ජනතාවට කියන්න කැමතියි, අපේ රටේ සවස 6 ත් රාත්‍රී 10 ත් අතර තමයි වැඩිම විදුලි ඉල්ලුම එන්නේ. මේ ඉලෙක්ට්‍රික් කාර්, විදුලි කාර් පාවිච්චි කිරීම නිසා ගොඩක් අය වැඩ ඇරිලා ගිහිල්ලා 6 - 10 අතර තමයි චාජ් කරන්නේ (Charge). ඒ නිසා මීට පෙරට වඩා මෙගා වොට් 300 කට ආසන්න අමතර විදුලි ඉල්ලුමක් 6 - 10 අතර මතුවෙලා තිබෙනවා. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නය. සියලු බලාගාර විදුලිය ජනනය කිරීම සඳහා උපයෝගි කර ගන්නවා. හැබැයි දවල් කාලයේ අපිට විදුලි අතිරික්තයක් තිබෙනවා. එනිසා මම විදුලි කාර් රථ හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබගේ වාහනය දවල් කාලයේ චාජ් කරන්න කියලා. අපි ඇත්තටම හඳුන්වා දෙන්න යන ස්මාට් මීටරයක් (Smart Meter) තියෙනවා. ස්මාර්ට් මීටරය ගෙනාවට පස්සේ අපි මිල අගයන් දෙකක් දෙනවා. දවල් කාලෙට එක මිලක්, 6 - 10 කාලයට තව මිලක්. අපේ අවශ්‍යතාව තමයි දවල් කාලයේ වැඩිපුර විදුලිය පරිභෝජනය කරන්න ඕන.

අපිට දවල් කාලයේ විදුලි අතිරික්තයක් තියෙනවා. සමහර දවස් වල, සෙනසුරාදා ඉරිදා අපිට සූර්ය බලශක්ති සැපයුම් කරුවන්ගෙන් විදුලිය මිලදී ගන්න බැරි තත්ත්වයක් මතුවෙලා තිබෙනවා. අපි විශාල ලෙස සූර්ය බලයෙන් විදුලිය හදාගෙන ගියා ගබඩා කිරීමේ පහසුකම් නැතුව. විදුලිය කියන්නේ ඒ වෙලාවේ හදලා ඒ වෙලාවෙම පාවිච්චි කරන්න ඕනේ දෙයක්. ඒ නිසා දවල් හැදෙන විදුලිය ඒ වෙලාවට පාවිච්චි කරන්න බැරි වෙනවා නම් අපිට අතිරික්තයක් තියෙනවා. දැන් අපි ටෙන්ඩරයක් කැඳවලා තියෙනවා මෙගාවොට් එකසිය හැටක බැටරි පද්ධතියක් (Battery Storage) සඳහා. ඒක දුන්නා නම් මාස හයක් ඇතුළත ඒ බැටරි සවි කරයි. එතකොට අපිට පුළුවන් මේ දවල් කාලයේ නිෂ්පාදනය කරන විදුලිය ඒ බැටරිවල ගබඩා කරලා රාත්‍රී 6 - 10 ඇතුලත ගන්න. තවත් අපි වැඩ සටහනක් හදාගෙන යනවා මෙගාවොට් හාරසීයක බැටරි ගේන්න. එතකොට අපිට දවල් නිෂ්පාදනය කරන විදුලිය ගබඩා කරලා 6 - 10 ඇතුලත ගන්න පුළුවන්. ඒවා තමයි අපේ සැලසුම්. අපේ සැලසුම් ක්‍රියාත්මක වීගෙන යනවා. ඒ නිසා තමයි මම කියලා තියෙන්නේ විදුලි බිල සැලකිය යුතු අඩුවීමක් කරනවා කියලා. මම ඒක වගකීමෙන් කියනවා, අපේ මේ පළමු පාලන කාලය තුළ විදුලි බිලේ සැලකිය යුතු අඩුවීමක් අපිට කරන්න පුළුවන්.

මාධ්‍යවේදී සජිත් රණසිංහ (ස්වර්ණවාහිනී): ජනාධිපතිතුමා, දැන් ඔබතුමා කිව්වා ජාත්‍යන්තරයත් සමඟ, මිත්‍ර රාජ්‍යයන් එක්ක කරපු සාකච්ඡා සාර්ථක මට්ටමක පවතිනවා කියලා. මොන දේ වුනත් ඉන්ධන සැපයුමට රුසියාවේ කතාව ඔබතුමා පැහැදිලි කරා. රුසියාව ගැන කතා කරද්දී වෙනත් රටවලුත්, ඇමරිකාව වගේ රටවලුත් මැදිහත් වෙනවා. මේ තත්ත්වය ඇතුළේ සාකච්ඡා සාර්ථකයි කියන්නේ අපිට තෙල් දෙනවද නැද්ද?

ජනාධිපතිතුමා: මම ඒක ප්‍රවේශම් වුණේ මම ඒක ඒකපාර්ශ්වීයව ප්‍රකාශ නොකරන්න. රාජ්‍යයන් එක්ක ඇතිවී තිබෙන එකඟතාවයන් හෝ ප්‍රගතිය දෙපාර්ශ්වයම එකඟතාවයකට ආවාට පසුව ප්‍රකාශ කළ යුතුයි කියලා මම හිතනවා. ඒ සාකච්ඡා ඉතා ඉහළ අදියරේ තියෙනවා. නමුත් මම තනිව ප්‍රකාශයට පත්කළ යුතු නෑ. රාජ්‍යයන් දෙකම ඒකාබද්ධව ප්‍රකාශ කිරීම තමයි වඩාත් වැදගත්. ඒ නිසා තමයි මම ඒකේ එක කොටසක් පමණක් කියලා නතර කළේ.

මාධ්‍යවේදී: ජනාධිපතිතුමා, විපක්ෂයෙන් දිගටම චෝදනා එල්ල වෙනවා. මේක දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක්. දැන් විදුලි කප්පාදුවක් වෙන්නේ නැහැ කියලා ඔබතුමා පැහැදිලි කළා. ජනාධිපතිතුමනි, කොපමණ පැහැදිලි කළත් ළඟ එන සිංහල අලුත් අවුරුද්දට ලයිට් නැතිව යයිද කියන බය මිනිස්සුන්ගේ හිතට දැනෙන්න පටන් අරන්.

ජනාධිපතිතුමා: අපි ඉදිරිපත් කළ සැලසුම් වලට ඒක ඇතුළත්. අවුරුද්දට ලයිට් අනිවාර්යෙන්ම තියෙනවා.

මාධ්‍යවේදී සඳ රත්නසූරිය (ස්වාධීන රූපවාහිනිය): ජනාධිපතිතුමනි, දැන් මේ වෙනකොට ලෝක බලවතුන් බල අරගලයක ඉන්නේ. ලංකාව විදිහට අපිට තවමත් මේ නොබැඳි පිළිවෙත ඉදිරියට ගෙන යෑමට හැකියාවක් තියෙනවද?



ජනාධිපතිතුමා: ඒක තමා අපි කොපමණ අසීරු තත්ත්වයන් යටතේ හරි පවත්වාගෙන යන්නේ. අපි ඒ ස්ථාවරයේ ඉන්නවා. අසීරුතාවයන් තිබෙනවා. මෑතකදී ආපු චෝදනාවලදීත් අපි අපේ ස්ථාවරයේ හිටියා. ඒ නිසා මම හිතනවා අපි ඉරානයේ ප්‍රහාරයට ලක්වුණු නාවිකයන් මුදවා ගැනීමේ දීත් අපි ස්ථාවරව හිටියා. ඊට පස්සේ අනිත් නැව් අපේ මුහුදු කලාපයේ රැඳීම, සෞදි ගොඩබිමට ගෙන ඒම වැනි දේවලදීත් අපි අපේ ස්ථාවරයේ හිටියා. සමහර ජාත්‍යන්තර සම්මුතීන් වලදී අපි අපේ ස්ථාවරය වෙනස් කරන්නේ නෑ. ඒ නිසා මම හිතනවා රටක් හැටියට අර ඒ ඒ මොහොතේ වාසියට එහෙට මෙහෙට සෙල්ලම් කරන එක රටට සුදුසු නෑ. රටක් හැටියට අපේ ස්ථාවරය තමයි මේ මධ්‍යස්ථභාවය. ඒක තමයි අපි වගේ රටවලට ඉතාමත් වැදගත්. ඒ නිසා අපි උපරිමයෙන් මධ්‍යස්ථභාවය ආරක්ෂා කරනවා. මෙතන පාර අපිට යන්න පුළුවන්. මම දකිනවා තවත් බොහෝ රටවල් දැන් මේ මධ්‍යස්ථ පාරට එමින් තියෙන බව. ලෝකය දිහා බලපුවාම මම විශ්වාස කරනවා ජාත්‍යන්තරය තුළ අවසානයේ ජයග්‍රහණය කරන්නේ මේ මධ්‍යස්ථ පාර කියලා.

මාධ්‍යවේදී: ජනාධිපතිතුමනි, ඔබතුමාගේ ප්‍රකාශයේ දී පැහැදිලිව කිව්වා ජනතාවට කම්පනයක් දැනිලා තියෙනවා කියලා. ලෝක බලවතුන් ගැටෙද්දී ඒක අපට භූමිකම්පාවක් බවට පත්වෙනවා. අපේ රටේ මේ වගේ කාරණා සම්බන්ධයෙන් පැහැදිලි සූදානමක් නැති නිසා තමයි මිනිස්සු බියට පත්වෙලා ඉන්නේ. මේ විශ්වාසය ඇතිකර ගන්න මොකක්ද ඔබතුමා සතුව තියෙන ක්‍රමවේදය?

ජනාධිපතිතුමා: ඒක විශාල කාර්යයක්. විශේෂයෙන් බලශක්ති ක්ෂේත්‍රයේ අපි විශාල සැලසුම් ගණනාවක් ක්‍රියාත්මක කරමින් ඉන්නවා. මා හිතන්නේ එකක් තමයි අපි අපේ ගබඩා පහසුකම් වර්ධනය කර ගත යුතුයි. අපි මේ වන විටත් ආරම්භ කර තිබෙනවා කොළොන්නාවේ නව ගබඩා හයක් හදන්න. ඒ වගේම මුතුරාජවෙල තව ගබඩා දෙකක් හදන්න. ත්‍රිකුණාමලය ගබඩා සංකීර්ණයේ අපට ගබඩා විසි හතරක් අයිතියි. එයින් තෙල් ටැංකි හතරක් හදන්න අපි තීරණයක් ගත්තා. දැන් අපි දෙකක් හදලා අවසන් කරලා තියෙනවා, තව 2 ක් අවසන් කරනවා. ගබඩා පහසුකම් සකස් කරගැනීමේ සැලැස්මක් අපි ක්‍රියාත්මක කරමින් යනවා.

ඊළඟට අපේ පයිප් ලයින් (Pipeline) පද්ධතිය විශාල ලෙස අබල දුබල වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට විශාල කාලයක් යනවා නැවක් ඇවිත් කොලොන්නාවට තෙල් ටික ගෙනියන්න. දින අටක් යන එක දින හතරකට අඩු කිරීම සඳහා අපි අලුත් පද්ධතියකට ටෙන්ඩර් කැඳවලා තියෙනවා. අඟල් 18 සහ අඟල් 24 අලුත් නළ පද්ධතියක් වරායේ ඉඳන් කොළොන්නාවට ගේනවා. ඊළඟට අපේ සපුගස්කන්දේ තියෙන දැවි තෙල් (Furnace Oil) කැළණිතිස්සට ගෙනියන්න තියෙන මාර්ගය, බට ලයින් එක මුළුමනින්ම අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. අපි ඒක ඉදිකරන්නත් ටෙන්ඩර් දැන් කෝල් කරලා තියෙන්නේ. ඊළඟට අපේ කොලොන්නාවේ ඉඳන් කටුනායකට අපිට ගුවන් යානා ඉන්ධන ගෙනියන්න ඕන. දැන් අපි බවුසර්වලින් තමයි ගෙනියන්නේ. අපිට ගුවන්තොටුපොළ ප්‍රධාන හබ් එකක් (Hub) බවට පත් කරන්න පුළුවන්. මේ ඇතිවී තිබෙන දේශපාලන තත්ත්වයත් එක්ක ඒක අපිට ඉතාමත් හොඳ අවස්ථාවක්. හැබැයි ඉන්ධන සැපයුම දෙන්න ඕනේ. ඒ නිසා කොළොන්නාවේ ඉඳන් කටුනායකට අපි නල පද්ධතියක් ඉල්ලනවා.

එතකොට අපේ ගබඩා පහසුකම්, අපේ නල පද්ධතිය අපි සැලසුම් කර තිබෙනවා. ඒ වගේම අපි දිගුකාලීන ගිවිසුම් අපේක්ෂා කරනවා. දිගු කාලීන විසඳුම් විදිහට ආණ්ඩු සහ ආණ්ඩු අතර ගිවිසුම්, විශ්වාසවන්ත සමාගම් එක්ක ගිවිසුම් අපි ඇතිකරගන්නවා අඛණ්ඩ සැපයීම සඳහා. ඒ සැලසුම් හදලා තියෙන නිසා මම හිතනවා බලශක්තිය පිළිබඳ අපිට මේ තියෙන අනතුර ගොඩගන්න පුළුවන් කියලා. අපි වගේ කුඩා රාජ්‍යයකට දවසකට අවශ්‍ය වෙන්නේ ඩීසල් මෙට්‍රික් ටොන් 4500 ක, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 4000 ක විතර ප්‍රමාණයක්. දවසකට අවශ්‍ය මෙට්‍රික්ටොන් ආසන්න වශයෙන් නව දාහක් විතර තමයි දෛනික ඉල්ලුම. මේක අපිට සපයා ගන්න පුළුවන්. හැබැයි අපිට තියෙන ප්‍රශ්නය වෙලා තියෙන්නේ මොකක්ද? නැව ගෙනැල්ලා ගොඩබාන්න යන කාලයයි, අපේ නළ පද්ධතියේ දුබලතාවයයි, අපේ ගබඩා ප්‍රශ්නයයි. මේක කළමනාකරණය කරගැනීමේ ගැටලුවක් නිසා තමයි අපිට ගොඩක් ඉන්ධන ගබඩා කරලා තියාගන්න බැරි. අපිට ඊළඟ නැව එනකොට තමයි ගබඩා කරගන්න වෙන්නේ. වෙනම ආරක්ෂිත ගබඩා සංකල්පයක් අපිට තිබුණේ නෑ. අපි මේ දෛනික මෙහෙයුම් (Operations) කරන ගබඩාව තමයි අපේ සංචිත හැටියටත් තියෙන්නේ. ඉතින් ඒකෙන් ගබඩා හිස් කරන්න ඕනා ඊළඟ නැව් එනකොට. අර්බුදය මතු වෙනකොට අපේ ගබඩා වල ලොකු අඩුවක් තමයි තිබුණේ. ඊළඟ නැවට අවශ්‍ය ඉඩ තියාගන්න තමයි එහෙම හිස් කරගන්නේ. ඒ නිසා මේක සංකීර්ණයි. මේක හැම පැත්තෙන්ම තමයි අපි කළමනාකරණය කරන්න ඕන කම තියෙන්නේ. මේ ස්ථාවරභාවය විශ්වාසයෙන් හදන්න පුළුවන්.

මාධ්‍යවේදී: ජනාධිපතිතුමනි, මේ විශේෂම කාරණය; දැන් ඔබතුමා කිව්වා හදිසි මිලදී ගැනීම් සඳහා ප්‍රසම්පාදන ක්‍රමවේදයන් වෙනුවට විශේෂ කමිටුවක් පත්කරලා තියෙනවා මේ හදිසි මිලදී ගැනීම් කරන්න කියලා. ඔබතුමා විපක්ෂයේ ඉන්න කොටත් විශේෂයෙන්ම චෝදනා කළේ මේ හදිසි මිලදී ගැනීම් හෙවත් 'ස්පොට් බයින්' (Spot buying) හරහා වෙන දූෂණ වංචා සම්බන්ධයෙන් තමයි. ඔබතුමාට දෙන්න පුළුවන් සහතිකය මොකක්ද මේ හදිසි මිලදී ගැනීම් දූෂණ වංචාවලින් තොරයි කියලා?

ජනාධිපතිතුමා: අපි විශ්වාස කරනවා, මම ඔබට ඉතා වගකීමෙන් කියනවා, කිසිසේත්ම මා හෝ මගේ දේශපාලන කණ්ඩායමේ කිසිවෙකු හෝ, අමාත්‍යවරයෙක් තමන්ගේ ධූරය පාවිච්චි කරලා යම් වංචාවකට දූෂණයකට කොතැනක හෝ සම්බන්ධ වුණොත්, අධිචෝදනා ගොනුකරන පහුවදාම අපි ඔවුන්ව අයින් කරනවා. ඒ නිසා මම හිතනවා අපේ දේශපාලනයේ විශ්වාසය එය තමයි කියලා. මොකද මේ වෙලාවෙ මිලදී ගැනීම් අපට අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. ඒ මිලදී ගැනීම් විශාල ගනුදෙනු යන බව අපි දන්නවා. ඒ සඳහා ඉතාමත් විශ්වාසදායක රාජ්‍ය සේවා කණ්ඩායමක්, නිලධාරීන් කණ්ඩායමක් තමයි කමිටුවට පත්කරලා තිබෙන්නේ. ඔවුන්ට තමයි මේ පිළිබඳ තීරණ ගැනීමේ බලය දීලා තියෙන්නේ. ඔවුන් ගන්නා තීරණය තමයි අපි කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දෙන්නේ. මම හෝ වෙන කවුරුවත් සමාගම් යොමු කරලා "මෙයා තෝර ගන්න" කියලා බලපෑම් කරන්නේ නෑ. කවුරුහරි දේශපාලකයෙක් හෝ රජයේ නිලධාරියෙක් කිසියම් සමාගමක් වෙනුවෙන් පෙනී හිටියොත්, ඒක තමයි ඒ සමාගම තෝරාගැනීමට තියෙන ප්‍රධානම නුසුදුසුකම. මම කියලා තියෙනවා ඔබට යම් සමාගමක් ගැන දේශපාලනඥයෙක් කතා කලොත්, ඒක තමයි එයා තෝරගන්න තියෙන නුසුදුසුකම කියලා.

එහෙනම් බොහොම ස්තූතියි හැමදෙනාටම.