හොරණ, පොරුවදණ්ඩ මානාන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාවකට අයත් නිවසක් බිඳ රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා රන් අත්පලඳනාවක් සොරාගැනීමේ සිද්ධියකට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ ඊට ආධාර අනුබල දුන් ඔහුගේ සහෝදරිය හොරණ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විමර්ශන මගින් අනාවරණය වී ඇති පරිදි, අදාළ ව්‍යාපාරික කාන්තාව නිවසේ නොසිටි අවස්ථාවක් බලා සැකකරු ජනේලයකින් නිවසට ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වී සිටින 33 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකු සහ ඔහුගේ 34 හැවිරිදි සහෝදරියයි.
සීසීටීවී (CCTV) ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ සිදුකළ පුළුල් විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලිසිය සමත් වී ඇත. ඒ අනුව, ඉංගිරිය ප්‍රදේශයේ පිහිටි උකස් මධ්‍යස්ථානයකට අදාළ රන් අත්පලඳනාව උකස් කිරීම සඳහා සැකකාර සහෝදරිය ගොස් සිටි අවස්ථාවේදී අත්පලඳනාව ද සමඟ අදාළ සැකකරුවන්ව පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර සහෝදරයා සහ සහෝදරිය මීට පෙර ද මෙවැනි අපරාධ සඳහා සම්බන්ධ වී ඇත්දැයි සෙවීම සඳහා පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, සැකකරුවන් දෙදෙනා හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.
මෙම විමර්ශන කටයුතු හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා මහතාගේ උපදෙස් පරිදි, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රසික ප්‍රසාද් මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වේ. ඊට උප පොලිස් පරීක්ෂක ගුරුසිංහ, පොලිස් සැරයන් ජනක (14934), පොලිස් කොස්තාපල්වරුන් වන සමන් (78834) සහ ළහිරු (13022) මෙන්ම කාන්තා පොලිස් කොස්තාපල් විගාබා (8863) යන නිලධාරීහු සිය දායකත්වය සපයති.

