රුසියාවේ ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින ජනගහන අර්බුදයට මුහුණ දීම සඳහා එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නවතම මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබේ. ඒ අනුව, දරුවන් ලැබීමට අකමැති කාන්තාවන්ගේ මානසිකත්වය වෙනස් කිරීමේ අරමුණින් ඔවුන්ව මනෝවිද්‍යාත්මක උපදේශන සඳහා යොමු කිරීමට තීරණය කර ඇත.
මාතෘත්වය පිළිබඳ ධනාත්මක ආකල්පයක් ඔවුන් තුළ ජනිත කරවීම මෙම පියවරේ ප්‍රධාන ඉලක්කය බව ප්‍රංශ පුවත් සේවය (AFP) වෙත වාර්තා වී තිබේ.වසර 25කට පෙර ව්ලැදිමීර් පුටින් ජනාධිපතිවරයා ලෙස බලයට පත්වූ දා සිට රුසියාවේ උපත් අනුපාතය පහත වැටීම ඔහුගේ ප්‍රධානතම ගැටලුවක් බවට පත්ව තිබිණි. කෙසේ වෙතත්, 2022 වසරේ පෙබරවාරි මාසයේදී යුක්රේනයට එරෙහිව ආරම්භ කළ යුද්ධයත් සමග ලක්ෂ ගණනක් තරුණයින් යුද පෙරමුණට යැවීමට සිදුවීම හේතුවෙන් මෙම ජනගහන අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරී ඇත.
පසුගිය පෙබරවාරි මාසයේ අගභාගයේදී අනුමත වී, මේ සතියේදී මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වූ මෙම නව ලේඛනයට අනුව, වයස අවුරුදු 18ත් 49ත් අතර කාන්තාවන් ඔවුන්ගේ ප්‍රජනන සෞඛ්‍යය තක්සේරු කිරීම සඳහා වාර්ෂික වෛද්‍ය පරීක්ෂණ වෙත කැඳවිය යුතු බව වෛද්‍යවරුන්ට උපදෙස් දී ඇත. මීට සමගාමීව එම වයස් සීමාවේම පසුවන පිරිමින්ගේ ශාරීරික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට ද නිර්දේශ කර ඇති නමුත්, ඔවුන්ව මනෝවිද්‍යාත්මක උපදේශන සඳහා යොමු කෙරෙන්නේ නැත.
රුසියානු ජනගහනය අඩුවීම ජාතික පැවැත්ම පිළිබඳ බරපතල ප්‍රශ්නයක් ලෙස ක්‍රෙම්ලින් නායකයා දකින අතර, උපත් අනුපාතය ඉහළ නොදැමුවහොත් රුසියාව වඳවී යාමේ තර්ජනයකට මුහුණ දෙනු ඇති බවට ඔහු 2024 වසරේදී අනතුරු ඇඟවීය. මේ වන විට එරට උපත් අනුපාතය වසර 200කට පසු වාර්තා වූ අවම අගය ගෙන ඇති අතර, එය එක් කාන්තාවකට දරුවන් 1.4ක් පමණ වේ. ජනගහන විද්‍යාඥයින් පෙන්වා දෙන පරිදි ජනගහනය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට නම් මෙම අනුපාතය 2.1ක් විය යුතුය.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මොස්කව් පාලනය විසින් මෑත වසරවලදී ගබ්සාව සම්බන්ධ නීති දැඩි කර ඇති අතර, දරුවන් නොමැතිව ජීවත්වීම ප්‍රවර්ධනය කරන ප්‍රචාරණ කටයුතු ද නීතිවිරෝධී කර ඇත. මීට අමතරව, විශාල පවුල්වලට මාධ්‍ය හරහා විශාල වටිනාකමක් ලබා දෙන අතරම, රජය විසින් ඔවුන්ට මූල්‍ය හා සමාජීය ප්‍රතිලාභ රැසක් ද පිරිනමනු ලබයි.

