ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නිකුත් කරන ලද නවතම දත්ත වලට අනුව, ගත වූ පැය 24 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශ කිහිපයකම වාතයේ ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමකට පත්ව තිබේ.
ශ්‍රී ලංකා වායු ගුණාත්මක දර්ශකයට (SL AQI) අනුව කෝට්ටේ, ගාල්ල කොටුව සහ ගාල්ල යන ප්‍රදේශවල වාතයේ ගුණාත්මක අගය 77 ත් 119 ත් අතර අගයක පවතින අතර, මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ වාතයේ පවතින ඉතා සියුම් අංශු (PM2.5) සාන්ද්‍රණය ඉහළ යාමයි.
අද උදෑසන වන විට වාර්තා වූ ඉහළම වායු දූෂණ තත්ත්වය කෝට්ටේ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, එම අගය 119 ක් ලෙස සටහන් වීමත් සමඟ එය වර්තමාන තත්ත්වය යටතේ වැඩිම බලපෑමකට ලක්වූ ප්‍රදේශය බවට පත්ව ඇත.
මීට අමතරව කොලොන්නාව, දඹුල්ල, කෑගල්ල, අනුරාධපුරය සහ පොළොන්නරුව යන ප්‍රදේශවලින් ද වාතයේ ගුණාත්මකභාවය "සුළු වශයෙන් අහිතකර" මට්ටමක පවතින බව වැඩිදුරටත් වාර්තා වේ.
මේ හේතුවෙන්, කුඩා දරුවන්, වයෝවෘද්ධ පුද්ගලයින් සහ ශ්වසන රෝගවලින් පෙළෙන අය වැනි සංවේදී කාණ්ඩවලට අයත් පිරිස් නිසි පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙසත්, වාතයේ තත්ත්වය යහපත් වන තුරු එළිමහනේ වැඩි කාලයක් ගත කිරීම සීමා කරන ලෙසත් සෞඛ්‍ය අංශ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් උපදෙස් ලබා දී ඇත.