air-canada-express-crashes-in-new-york

නිව්යෝර්ක් නුවර ලාගුවාඩියා (LaGuardia) ගුවන්තොටුපළේ ධාවන පථයේ ගමන් කරමින් තිබූ එයාර් කැනඩා එක්ස්ප්‍රස් (Air Canada Express) මගී ගුවන් යානයක් එහි ගලවාගැනීමේ සහ ගිනි නිවීමේ රථයක ගැටීමෙන් බරපතළ අනතුරක් සිදුවී තිබේ. කැනඩාවේ මොන්ට්‍රියෙල් නගරයේ සිට පැමිණි මෙම යානය පැයට සැතපුම් 24ක පමණ වේගයකින් ධාවන පථය ඔස්සේ ගමන් කරමින් සිටියදී හරස් අතට පැමිණි ගුවන්තොටුපළට අයත් රථයේ ගැටීම හේතුවෙන් ගුවන්තොටුපළේ සියලුම ගුවන් ගමන් මෙහෙයුම් තාවකාලිකව නතර කිරීමට බලධාරීන්ට සිදුවිය.




එයාර් කැනඩා සමාගමේ කලාපීය හවුල්කරුවෙකු වන ජෑස් ඒවියේෂන් (Jazz Aviation) විසින් මෙහෙයවන ලද CRJ-900 වර්ගයට අයත් මෙම ගුවන් යානය අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා ඇත. වාර්තා වන ආකාරයට යානයේ ප්‍රධාන නියමුවා සහ සහාය නියමුවා බරපතළ ලෙස තුවාල ලබා ඇති අතර, ගිනි නිවීමේ රථයේ රාජකාරි කරමින් සිටි පොලිස් සැරයන්වරයෙකු සහ නිලධාරියෙකු අස්ථි බිඳීම්වලට ලක්ව රෝහල්ගත කර තිබේ. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කර ඇත.

මෙම අනතුරත් සමගම අමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) විසින් ලාගුවාඩියා ගුවන්තොටුපළේ සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට වහාම පියවර ගෙන තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන රාත්‍රී කාලයේ ලබාගත් ඡායාරූපවල දැක්වෙන්නේ යානයේ ඉදිරිපස කොටසට සහ නියමු කුටියට දැඩි ලෙස හානි සිදුවී ඇති ආකාරයත්, ඒ අවට හදිසි ප්‍රතිචාර දැක්වීමේ වාහන රැසක් නවතා ඇති ආකාරයත් ය. මේ හේතුවෙන් ක්වීන්ස් කලාපය අවට රථවාහන තදබදයක්, මාර්ග වැසී යාම් මෙන්ම ගුවන් ගමන් අවලංගු වීම් බලාපොරොත්තු විය හැකි බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස නිව්යෝර්ක් හදිසි කළමනාකරණ අධිකාරිය මහජනතාවට අනතුරු අඟවා ඇත.




මෙම අනතුර සිදුවීමට පෙර සිටම අයහපත් කාලගුණික තත්ත්වයන් සහ ෆෙඩරල් අරමුදල් සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් ඇති වූ කාර්ය මණ්ඩල හිඟය නිසා ලාගුවාඩියා ගුවන්තොටුපළේ කටයුතුවලට යම් පමණක බාධා එල්ල වී තිබුණි. අමෙරිකාවේ ප්‍රධාන පෙළේ ගුවන් සමාගම් රැසක් භාවිතා කරන මෙම ගුවන්තොටුපළ පසුගිය 2025 වසරේදී පමණක් මගීන් මිලියන 30කට අධික සංඛ්‍යාවකට සේවා සපයා ඇති ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානයකි. කෙසේ වෙතත්, වර්තමාන තත්ත්වය හමුවේ ගුවන්තොටුපළෙන් පිටත්වීමට නියමිතව තිබූ සියලුම ගුවන් ගමන් ප්‍රමාද කිරීමට හෝ සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට ගුවන්තොටුපළ බලධාරීන් කටයුතු කර ඇත.

air-canada-express-crashes-in-new-york

air-canada-express-crashes-in-new-york

air-canada-express-crashes-in-new-york

air-canada-express-crashes-in-new-york