ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම මොහොතක සහාය දැක්වීමට ඉරාන රජය සම්පූර්ණයෙන්ම සූදානමින් සිටින බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් (Alireza Delkhosh) මහතා අවධාරණය කරයි. කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව තම රටෙහි සමීපතම මිතුරෙකු ලෙස සලකන බවයි.
ඒ අනුව, ශ්‍රී ලංකා රජය විසින් ඉන්ධන හෝ වෙනත් කිසියම් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් සිදු කරන්නේ නම්, එය කඩිනමින් සැපයීමට තම රට පියවර ගන්නා බව තානාපතිවරයා මෙහිදී සඳහන් කළේය. එසේම, ගෝලීය වශයෙන් වැදගත් වන හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානයේ මිත්‍රශීලී රාජ්‍යයන් සඳහා කිසිදු විටෙක වසා දමා නොමැති බවද ඔහු විසින් පෙන්වා දෙනු ලැබීය.
ශ්‍රී ලංකාව යනු ඉරානයට අතිශය ගෞරවනීය රාජ්‍යයක් බවත්, කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකාව දුෂ්කරතාවකට පත්වනු දැකීම තම රටේ අපේක්ෂාව නොවන බවත් ඩෙල්කෝෂ් මහතා ප්‍රකාශ කළේය. මෑතකදී ඇමෙරිකානු සබ්මැරීනයක් මගින් එල්ල කරන ලද ටෝපිඩෝ ප්‍රහාරයක් හේතුවෙන් මුහුදුබත් වූ 'IRIS Dena' නමැති ඉරාන යුද නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා, ඉරානය ඉල්ලීමක් කිරීමටත් පෙරම ශ්‍රී ලංකාව මැදිහත් වී සිදුකළ මානුෂීය උපකාරය ද තානාපතිවරයාගේ විශේෂ ඇගයීමට ලක්විය.
මීට අමතරව, දැනට ඉරානය තුළ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට යළි සිය මව්බිම වෙත පැමිණීමට අවශ්‍යතාවක් ඇත්නම්, ඒ සඳහා අවශ්‍ය කෙරෙන සියලුම පහසුකම් සැලසීමට ඉරාන රජය මේ වන විටත් සූදානමින් පසුවන බව ඉරාන තානාපතිවරයා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

