ශ්‍රී ලංකා මුහුදු තීරයට ඔබ්බෙන් වූ ඉන්දියානු සාගරයේදී ඉරාන නාවික නෞකාවකට එල්ල වූ සබ්මැරීන් ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයින් 101 දෙනෙකු පමණ අතුරුදන් වී 35 ක් පමණ බේරාගෙන තිබේ. 2026 මාර්තු 4 වන දින වාර්තා වූ මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඉරානයට අයත් 'IRIS Dena' නම් වූ Moudge පන්තියේ යුධ නෞකාවකි.
රොයිටර් පුවත් සේවය සහ ශ්‍රී ලංකා ආරක්ෂක ආරංචි මාර්ගවලට අනුව, ගාල්ලට දකුණින් නාවික සැතපුම් 40ක් පමණ දුරින්, ශ්‍රී ලංකාවේ භෞමික ජල සීමාවෙන් පිටතදී මෙම සිදුවීම වාර්තා වී ඇත.නාවිකයින් 180ක පමණ කාර්ය මණ්ඩලයක් රැගත් බව කියන මෙම නෞකාවේ අනෙක් අය පිලිබඳ තොරතුරු පැහැදිලි නැති අතර මෙම නෞකාව ගිලෙමින් පවතින අවස්ථාවේදී නිකුත් කළ ආපදා සංඥාවකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය එක්ව දැවැන්ත සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත. මේ වන විට එම නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයෙන් 30ත් 35ත් අතර පිරිසක් බේරා ගැනීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සමත් වී තිබේ. මුදාගත් තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත යොමු කර ඇති අතර, ඒ සඳහා රෝහල දැඩි සූදානම් තත්ත්වයක තබා ඇති බව ප්‍රාදේශීය බලධාරීහු ප්‍රකාශ කරති. ඉන්දියාවේ පැවති නාවික හමුවකට සහභාගී වී ආපසු ඉරානය බලා යාත්‍රා කරමින් සිටියදී මෙම නෞකාව මෙම ප්‍රහාරයට ලක්ව තිබේ.
මෙම නාවික හදිසි තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව අමතමින් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ, අදාළ සිදුවීමට ප්‍රතිචාර දැක්වීම සඳහා ශ්‍රී ලංකාව සුදුසු ඉදිරි පියවර ගැනිමට සලකා බලමින් සිටින බවයි. ඉන්දියානු සාගරයේ සෙවීම් සහ මුදාගැනීමේ කලාපය තුළ මෙම අනතුර සිදුව ඇති බැවින්, ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව තම මෙහෙයුම් ක්‍රියාත්මක කළ බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක බුද්ධික සම්පත් මහතා වැඩිදුරටත් තහවුරු කළේය.
මෙම සබ්මැරීන් ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු රටක් හෝ කණ්ඩායමක් විසින් නිල වශයෙන් භාරගෙන නොමැත. කෙසේ වෙතත්, පර්සියානු ගල්ෆ් කලාපය ආශ්‍රිතව ඉරාන නාවික බලඇණි සහ සබ්මැරීන් ඉලක්ක කර ගනිමින් එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් දියත් කර ඇති 'Operation Epic Fury' මෙහෙයුමට මෙම ප්‍රහාරය සම්බන්ධ දැයි විපක්ෂ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළද, රජය ඊට ක්ෂණික ප්‍රතිචාරයක් දක්වා නොමැත. මෙම ප්‍රහාරය අමෙරිකානු නාවික හමුදාවේ මැදිහත්වීමක් බවට අනුමාන කිරීම් පවතින නමුත්, මේ දක්වා ඒ පිළිබඳව නිල තහවුරු කිරීමක් සිදු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙමින් පවතී.
