vehicle-number-plate-printing-resumes

මෝටර් රථ සඳහා අංක තහඩු මුද්‍රණය කිරීම නව සමාගමකට පැවරීම හා ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම අද (10) සිදු කෙරිණි.




ඒ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්, මාර්ග ප්‍රවාහන නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ අදාළ පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය එක්ව සිටියේය.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කර සිටියේ අදාළ ගිවිසුමට අනුව මාස තුනක් ඇතුළත එම සමාගම අංක තහඩු මුද්‍රණය කිරීම ආරම්භ කළ යුතු බවය.




එමෙන්ම මෙම ගිවිසුම ප්‍රසම්පාදනය කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත් වූ බවත් ඒ අනුව කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීම හරහා එහි අනුමැතියෙන් පසුව නීතිපතිගේ උපදෙස් මත මෙම ගිවිසුම අත්සන් කළ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත් අදාළ සමාගම සමග මූලික සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ අතර මාස දෙකක් වැනි කාලයක් අතරතුර මෙම කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.



එමෙන්ම එහිදී ඔහු සඳහන් කර සිටියේ මෙම ව්‍යාපෘතිය බිලියන තුනක පමණ වටිනාකමින් යුතු ව්‍යාපෘතියක් වන අතර එය අද දින සිට අවුරුදු පහක කාලයක් සඳහා අදාළ සමාගමට ලබා දී ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා,

'' වේරහැර අපේ තියෙන කාර්යාල පරිශ්‍රයේ තමයි වඩාත් ඉඩ පහසුකම් සහිතව මේ කටයුතු ආරම්භ කරන්නේ. මාස දහයකට ආසන්න කාලයක් අපි දැන් නම්බර් ප්ලේට් ප්‍රින්ට් කරන්නේ නැතුව නවත්තලා දාලා තියෙනවා. ඒ නිසා මේ සියලු කටයුතු නිම කරන්න අපිට කාලයක් යනවා. ඒ කෙසේ වෙතත් අපි කටයුතු ආරම්භ කිරීම හැකි ඉක්මනින් අපි අප්‍රේල් අග මැයි මුල සතියේ වගේ වෙද්දී පටන් ගන්න. මාස තුනක් ගත කරන්නේ නැහැ. අපේ සහයෝගයත් අපි ලබා දීලා තියෙනවා.. දැනටමත් ඒ සමාගම, වේරහැර අපේ පරීශ්‍රයේ මූලික ඉදිකිරීම් කටයුතු පටන් අරන් තියෙනවා. ඒ වගේම අද සාකච්ඡාවේදී ඒ සමාගම දැනුම් දුන්නා අවශ්‍ය මුද්‍රණ යන්ත්‍ර ආනයනය කරන්න සියලුම කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා ඒ වගේම සති තුනක් ඇතුළත ඒ කටයුතු නිම කරන බවත් ප්‍රකාශ කර සිටියා.''