ඇමරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය මධ්‍යයේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි කාර්ග් දූපතේ (Kharg Island) වැදගත්කම හදිසියේම ඉහළ ගොස් තිබේ. ඇතැම් මාධ්‍ය වාර්තාවලට අනුව, ට්‍රම්ප් පරිපාලනය මෙම දූපත අත්පත් කර ගැනීම සඳහා මිලිටරි විකල්පයන් පිළිබඳව සලකා බලමින් සිටින අතර, එය ඉරානයේ ප්‍රධානතම තෙල් ආදායම් මධ්‍යස්ථානය ලෙස සැලකේ. ඉරානයේ බොරතෙල් අපනයනයෙන් 80% ත් 90% ත් අතර ප්‍රමාණයක් මෙම දූපත හරහා සිදු කෙරෙන අතර, මෙහි දැවැන්ත තෙල් පර්යන්ත, නල මාර්ග, ගබඩා ටැංකි සහ නැව්වලට තෙල් පිරවීමේ පහසුකම් ස්ථාපිත කර ඇත. දිනකට බැරල් ලක්ෂ 70ක් පමණ නැව්ගත කිරීමේ හැකියාව ඇති මෙම මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල වුවහොත් තුන්වන ලෝක යුද්ධයක් දක්වා තත්ත්වය වර්ධනය විය හැකි බවට විශේෂඥයෝ අනතුරු අඟවති.
1960 ගණන්වල විදේශ ආයෝජන හරහා දැවැන්ත තෙල් අපනයන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරන ලද මෙම දූපත, එදා සිට ඉරාන තෙල් සැපයුමේ කොඳු නාරටිය බවට පත්ව තිබේ. හඩ්සන් ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජික මයිකල් ඩොරන් පෙන්වා දෙන්නේ, යුද්ධයෙන් පසුව වුවද ඉරාන ආර්ථිකය මුළුමනින්ම විනාශ කිරීමට ට්‍රම්ප් පරිපාලනයට අවශ්‍යතාවයක් නොමැති බවයි. ඇමරිකාවේ පැරණි 'රතු ඉර' හෙවත් සීමාව වී ඇත්තේ මෙවැනි සුවිශේෂී සහ තීරණාත්මක ස්ථානවලට පහර නොදීම වුවත්, එවැනි ස්ථාන ඉලක්ක කළහොත් ඉරානය විසින් දැවැන්ත ප්‍රතිප්‍රහාරයක් එල්ල කරනු ඇති බවත්, එයින් තුන්වන ලෝක යුද්ධයකට සමාන වාතාවරණයක් නිර්මාණය විය හැකි බවත් ඔහු පවසයි.
ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයේ හමුදා කඳවුරු සහ න්‍යෂ්ටික පහසුකම් කිහිපයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබුණද, පර්සියානු බොක්කේ ඉරාන වෙරළට කිලෝමීටර් 25 සිට 30 දක්වා දුරකින් පිහිටි කාර්ග් දූපතට මෙතෙක් ප්‍රහාරයක් එල්ල වී නොමැත. චන්ද්‍රිකා දත්ත සහ නාවික ගමනාගමනය නිරීක්ෂණය කරන සමාගම්වලට අනුව, යුද්ධය මධ්‍යයේ වුවද ඉරානය මෙතැනින් අඛණ්ඩව තෙල් අපනයනය කරමින් සිටී. පෙබරවාරි 28 වනදා සිට මේ දක්වා තෙල් බැරල් මිලියන 12 කට (කෝටි 1.2) අධික ප්‍රමාණයක් ටැංකි හරහා පිටරට යවා ඇති අතර, ඉරානය සිය නැව්වල ට්‍රැකින් පද්ධති අක්‍රිය කරමින් 'ඩාර්ක් ෆ්ලීට්' (Dark Fleet) ක්‍රමවේදය භාවිතා කරන බැවින් සැබෑ අපනයන අගය මීට වඩා ඉහළ විය හැක. මෑතකදී ආසියාව බලා යාත්‍රා කළ දැවැන්ත තෙල් නැවක් හෝර්මුස් සමුද්‍ර සන්ධිය තරණය කිරීමේදී ට්‍රැකින් පද්ධතියෙන් අතුරුදහන් වී පසුව යළි මතු වීම මීට කදිම උදාහරණයකි.
ලෝකයේ තෙල් සැපයුමෙන් 20%ක් පමණ ගමන් කරන හෝර්මුස් සමුද්‍ර සන්ධියට ඉතා ආසන්නයේ කාර්ග් දූපත පිහිටා තිබීම හේතුවෙන්, මෙම කලාපයට එල්ල වන ප්‍රහාරයක් හෝ නාවික ගමනාගමනය අවහිර වීමක් ලෝක තෙල් සැපයුමට දැඩි ලෙස බලපානු ඇත. කාර්ග් දූපතේ තෙල් පර්යන්තය විනාශ කළහොත් හෝ අත්පත් කර ගතහොත් ඉරානයේ ප්‍රධානතම ආදායම් මාර්ගය අවහිර කළ හැකි බව ඇමරිකානු පරිපාලනය විශ්වාස කරයි. තෙල් අලෙවියෙන් ලැබෙන මුදල් ඉරාන රජයේ සහ හමුදාවේ ප්‍රධානතම ආර්ථික ශක්තිය වන අතර, මෙම ආදායම අහිමි වුවහොත් ඉරානයට දීර්ඝ කාලීනව යුද්ධය පවත්වාගෙන යාම අතිශයින් දුෂ්කර වනු ඇත. මෙම දූපතට ප්‍රහාරයක් එල්ල වුවහොත් ඉරානයේ තෙල් ආදායම ක්ෂණිකව කඩා වැටෙනු ඇති අතර, ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඩොලර් 10කින් පමණ ඉහළ යා හැකි බවට පුරෝකථනය කර ඇත.
දැනට ඉරානය දිනකට බොරතෙල් බැරල් ලක්ෂ 33ක් පමණ නිෂ්පාදනය කරන අතර, තවත් කන්ඩෙන්සේට් සහ වෙනත් ද්‍රව ඉන්ධන බැරල් ලක්ෂ 13ක් පමණ නිපදවයි. ඒ අනුව සමස්ත ගෝලීය බලශක්ති සැපයුමෙන් 4.5%ක් ඉරානයෙන් සැපයේ. අහ්වාස්, මරූන් සහ ගච්සරාන් වැනි ප්‍රධාන තෙල් නිධිවල සිට නල මාර්ග හරහා සෘජුවම කාර්ග් දූපතට තෙල් ගෙනෙනු ලබන අතර, මෙහි බැරල් මිලියන 30ක (කෝටි 3ක) තෙල් ගබඩා කිරීමේ ධාරිතාවයක් පවතී. දැනට එහි බැරල් මිලියන 18ක පමණ තෙල් ගබඩා කර ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර එය සාමාන්‍ය තත්ත්වයන් යටතේ දින 10 සිට 12 දක්වා අපනයනය සඳහා ප්‍රමාණවත් වේ. මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ යුද්ධය ආරම්භ වීමට පෙර, එනම් පෙබරවාරි 15 සිට 20 දක්වා කාලය තුළ ඉරානය සිය තෙල් අපනයනය දිනකට බැරල් ලක්ෂ 30 ඉක්මවා එනම් සාමාන්‍ය මට්ටම මෙන් තුන් ගුණයකින් වැඩි කර ඇති බවයි.
කාර්ග් දූපත මීට පෙරද යුද උපායමාර්ගික සාකච්ඡාවලට ලක්වූ ස්ථානයකි. 1979 ඉරාන ප්‍රාණ ඇපකරුවන්ගේ අර්බුදය සමයේදී මෙම දූපත අත්පත් කර ගන්නා ලෙස ඇමරිකානු ජනාධිපති ජිමී කාටර්ට උපදෙස් ලැබී තිබූ අතර, 1980 ගණන්වල රොනල්ඩ් රේගන්ගේ පාලන සමයේදී ඇමරිකාව ඉරානයේ වෙනත් තෙල් පහසුකම්වලට පහර දුන්නද මෙම දූපත ඉලක්ක කළේ නැත. කෙසේ වෙතත්, ඉරාන-ඉරාක යුද්ධයේදී ඉරාක ප්‍රහාරවලින් මෙහි තෙල් පර්යන්තයට දැඩි අලාභහානි සිදුවිය. ලෝක තෙල් වෙළෙඳපොළේ අර්බුද සහ මිල ඉහළ යාම් වළක්වා ගැනීම සඳහා ඇමරිකාව ඇතුළු මිත්‍ර රටවල් පළමුව ඉරානයේ හමුදා සහ න්‍යෂ්ටික හැකියාවන් දුර්වල කිරීමේ උපාය මාර්ගයක නිරත වන බැවින් මෙතෙක් මෙම දූපත සෘජු යුධ පිටියක් බවට පත්ව නැත. මේ අතරතුර, ඇමරිකානු-ඊශ්‍රායල සහ ඉරාන යුද්ධයේ 11 වන දිනය වන විට, ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී මුර භට බලකාය (IRGC) හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන ඇතැම් රටවල නැව් සඳහා නව කොන්දේසියක් පනවා ඇත. ඒ අනුව ඔවුන්ට එම කලාපය හරහා ගමන් කිරීමට නම්, පළමුව එම රටවලින් ඊශ්‍රායල සහ ඇමරිකානු තානාපතිවරුන් නෙරපා හැරිය යුතු බවටත් අදාළ නැව්වලින් බදු අය කරන බවටත් ඉරානය ප්‍රකාශ කර තිබේ.