kandy-scientists-face-was-sprayed-with-toxic-chemicals-and-60-lakh-gems-were-stolen

මහනුවර නගරයේ, කොටුගොඩැල්ල වීදියේ පිහිටා ඇති තෙමහල් වෙළෙඳ සහ කාර්යාල සංකීර්ණයක පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ මැණික් පරීක්ෂණාගාරයකින් රුපියල් ලක්ෂ හැටක පමණ වටිනාකමකින් යුත් මැණික් තොගයක් කොල්ලකා ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය වාර්තා කරයි. මෙම අපරාධය සිදු කර ඇත්තේ අදාළ මධ්‍යස්ථානයේ සේවය කරන මැණික් විද්‍යාඥයාගේ මුහුණට යම් විෂ රසායනික ද්‍රව්‍යයක් එල්ල කිරීමෙනි.




මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇති ආකාරයට, අදාළ කොල්ලකරු මෙම පරීක්ෂණාගාරයට ඇතුළු වී ඇත්තේ තමන් සතුව ඇති මැණික් ගල් කිහිපයක් පරීක්ෂා කර ගැනීමේ මුවාවෙනි. ඔහු එම අවස්ථාවේදී යතුරුපැදි හිස්වැස්මක් සහ මුහුණු ආවරණයක් පැලඳ සිට ඇති අතර, මෙම සිදුවීම වන විට පරීක්ෂණාගාරය තුළ රැඳී සිට ඇත්තේ මැණික් විද්‍යාඥයා පමණක් බව ද අනාවරණය වී ඇත. එහිදී උපක්‍රමශීලී වී ඇති සැකකරු, විද්‍යාඥයාගේ මුහුණට රසායනික ද්‍රව්‍යය ඉස මෙම මැණික් තොගය රැගෙන පලා ගොස් තිබේ.

පලාගිය කොල්ලකරු නීතියේ රැහැනට කොටු කර ගැනීම සඳහා මහනුවර පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් පතිරණ මහතාගේ මෙහෙයවීම යටතේ මේ වන විටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් අපරාධය සිදු වූ මැණික් පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත ගොස් පරීක්ෂණ කටයුතු සිදු කර ඇති අතර, ඊට අමතරව එම ගොඩනැගිලි සංකීර්ණයේ සවි කර තිබෙන සීසීටීවී කැමරා දර්ශන ද දැඩි පරීක්ෂාවකට ලක් කරමින් සිටින බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.