පොලිස් ස්ථානයක් තුළදී රාජකාරියේ නිරතව සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියකට අමානුෂික ලෙස පහරදී, පොලිස් ලේඛනවලට හානි කළ බව කියන විසිපස් හැවිරිදි තරුණියක් පොත්තපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 23 වනදා සවස මහනුවර, පොත්තපිටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය තුළ මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරිනිය ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
මෙම ගැටුමට මුල් වී ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකි. සැකකාර තරුණිය තමා සමඟ සබඳතාවක් පවත්වන අතරතුරම තවත් තරුණයෙකු සමඟ ද සම්බන්ධතාවක් ගොඩනඟාගෙන ඇති බවට ඇයගේ පෙම්වතා විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. එම පැමිණිල්ල විභාග කිරීම සඳහා පොලිස් නිලධාරීන් විසින් අදාළ තරුණිය සහ පැමිණිලිකාර පෙම්වතා යන දෙදෙනාම එදින සවස පොලිස් ස්ථානය වෙත කැඳවා ඇත.
පොලිසියට පැමිණි තරුණිය විමර්ශනය අතරතුරදී ඉන් පිටව ගොස් සුළු වේලාවකින් නැවතත් ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණ තිබේ. එහිදී අදාළ කාන්තා පොලිස් කොස්තාපල්වරිය ඇයට කරුණු අවබෝධ කර දෙමින් අවවාද කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී සැකකාරිය දැඩි ලෙස කෝපයට පත්වී ඇත. අනතුරුව සිය පෙම්වතාට ද තදින් බැන වදිමින් ඇය පොලිස් මේසය මත තිබූ පැමිණිලි සටහන් කරන පොත්පත් උදුරාගෙන බිමට වීසි කරමින් දැඩි කලහකාරී ලෙස හැසිරී තිබේ.
එම අවස්ථාවේදී තත්වය පාලනය කිරීමට උත්සාහ කළ කොස්තාපල්වරියගේ කෙස්වැටියෙන් ඇද ඇති මෙම තරුණිය, සිය නියපොතුවලින් සූරා ඇයගේ දෑත්වලට ද තුවාල සිදු කර ඇත. රජයේ නිලධාරිනියකගේ රාජකාරියට බාධා කිරීම, සාපරාධී බලහත්කාරය පෑම, තුවාල සිදු කිරීම සහ කලහකාරී ලෙස හැසිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් මෙම ප්‍රදේශවාසි සැකකාරිය, අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු සම්පාදනය කරමින් සිටියි.

