340-million-rupees-in-sajins-wifes-bank-account

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාගේ බිරිඳගේ බැංකු ගිණුමක රුපියල් මිලියන 340කට අධික වත්කමක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ පෙරේදා (24) ප්‍රකාශ කළේය. වසරක කාලයක් තුළ රුපියල් කෝටි 24ක අයථා වත්කම් ඉපැයීමේ චෝදනාව මත දැනටමත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකාර හිටපු මන්ත්‍රීවරයාට අදාළව මෙම නව තොරතුරු අනාවරණය වී ඇත්තේ ඔහු බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව සිදුකළ වැඩිදුර විමර්ශනවලදීය.




විදේශ කටයුතු අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළ සමයේදී ඔහු සිය බිරිඳ සහ දරුවන් සමග පෞද්ගලික විදේශ සංචාර විසිහතක නිරත වී ඇති බවත්, ඒ සඳහා සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා යමින් රුපියල් 243,850,942.23ක මුදලක් වියදම් කර ඇති බවත් කොමිසම අධිකරණයට පෙන්වා දුන්නේය. බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අල්ලස් කොමිසම වැඩිදුරටත් අවධාරණය කළේ, සිය සැබෑ ආදායම් සහ වියදම් පිළිබඳ තොරතුරු වසන් කිරීම මෙන්ම අල්ලස් පනතේ 23 (අ) (4) වගන්තිය යටතේ සිදුකර ඇති වැරදි සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් පරීක්ෂණ පවත්වන බවයි.

අලුතින් සොයාගත් වත්කම් පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදුකළ යුතු බැවින් සැකකරු නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. කෙසේ වෙතත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක මහතා අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, අයථා වත්කම් ඉපැයීමේ මෙවැනිම චෝදනාවක් මත කොළඹ මහාධිකරණයේ තම සේවාදායකයාට එරෙහිව නඩුවක් විභාග වෙමින් පවතින බවත්, ඊට අදාළව සාක්ෂි ගොනුකර ඇති බැවින් ඔහුට ඇප ලබාදෙන ලෙසත්ය.




දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, මෙම සිද්ධියට අදාළ විමර්ශන මෙතෙක් අවසන් වී නොමැති බවත් නව වත්කම් පිළිබඳ වාර්තාවක් ද අධිකරණයට ලැබී ඇති බවත් ප්‍රකාශ කළේය. ඒ අනුව, මෙවැනි තත්ත්වයක් යටතේ ඇප ලබාදීම සඳහා සුවිශේෂී කරුණු ඉදිරිපත් විය යුතු බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු ලබන 31 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. ඊට අමතරව, ලබන 26 වැනිදා කොළඹ මහාධිකරණයේ විභාග වන අධිචෝදනා නඩුවක් පවතින බැවින්, එදිනට සැකකරු මහාධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන ලදී.